ලංගමට පාඩුයි -  බස් හා සේවකයින් මැතිවරණයට යොදාගැනීම තහනම්

ලංගමට පාඩුයි - බස් හා සේවකයින් මැතිවරණයට යොදාගැනීම තහනම්

July 28, 2015   02:22 pm



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සේවකයින් හා එහි දේපළ  මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කිසිදු ආකාරයකින් භාවිත  කිරීමට අවසර ලබානොදෙන ලෙස අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතාට අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

 ඒ අනුව ලංගම බස් රථවල අපේක්ෂකයින්ගේ පෝස්ටර් ඇලවීම සහ සේවකයින් රාජකාරී කාලය තුළ එම කටයුතුවලට යොදාගැනීම තහනම් බව රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා දැනුම් දී ඇත.
 
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු දේපළ සහ සේවකයින් විශාල වශයෙන් දේශපාලන කටයුතු සඳහා යොදාගෙන තිබීම හේතුවෙන් මගී ජනතාව සහ ලංගම සේවකයින් දැඩි අපහසුතාවකට පත්වු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

 එමෙන්ම පසුගිය කාලය තුළ දේශපාලන රැස්වීම් සඳහා යොදාගන්නා බස් රථවල මුදල් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම ද පහල වැටී ඇති බව නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව මෙවර කිසිදු දේශපාලන රැලියකට ලංගම බස් රථ ලබානොදෙන ලෙස අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා උපදෙස් ලබාදී ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කළේය.