ජා.හෙ.උ සන්ධානයෙන් ඉවත්වෙයි - පෙරමුණක් ලෙස එළිබසියි

ජා.හෙ.උ සන්ධානයෙන් ඉවත්වෙයි - පෙරමුණක් ලෙස එළිබසියි

July 5, 2015   01:12 pm



ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයේ දී පෙරමුණක් ලෙස තරඟ වැදීමට තීරණය කර තිබේ.

මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ තම පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

එම අවස්ථාවේදී ඒ මහතා පහත පරිදි අදහස් දැක්විය.

"අපි හිතනවා දැන් මේ මොහොත නව අවදියක් කියලා. මෙරටේ දේශපාලනයේ නව අවදියකට රට ගමන් කරමින් තියෙනවා කියලා.මේ අවස්ථාවේ අපේ ජාතික වගකීම ඉටුකරන්න ඕන කියලා අපි කල්පනා කළා.අද මේ රටේ ජනතාව අතර යම් වික්ෂිප්තභාවයක් ඇති වෙලා තියෙනවා. කුමක්ද සිදුවෙමින් පවතින්නේ කියලා. අද  රටට ඉතා අත්‍යාවශයි යහපාලනයේ  ප්‍රජාතන්ත්‍රවාදයේ සම අවස්ථා ඇති වන සමබිමක් උදාකර ගැනීම.


ඒක ඉෂ්ඨ කරන්න  මේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙකටම දැන් බැරිබව අපට වැටහිලා තියෙනවා . ඒ එ.ජ.නි.ස මහින්ද මහත්තයා විසින් මෙහෙයවන අනෙක් පැත්තෙන් එ.ජා.පට රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවන. මෙ දෙකම අතීතයට අයිති බලවේග දෙකක්. ඒ නිසා අපි තීරණය කළා ශීලාචාරකම වෙනුවෙන් අශිෂ්ඨත්වයට එරෙහිව මනුෂ්‍යත්වය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ වගේම හෙ රටේ උගත් වියත් සාධාරණ යුක්ති සහගත පාලනයක් අනාගතයේ ඇතිකර ගැනීම වෙනුවෙන් එදා ජනවාරි 8 වනදා ක්‍රියාත්මක වෙච්ච ඒ සෑම බගවේගයකටම නව වේදිකාවක් බවට පත්වෙන්න.

ඒ නිසා අපි පසුගියදා රැස්වේච්ච  මධ්‍යම කාරක සභාව තීරණය කළා. එ.ජ.නි.ස ඉවත්වෙලා මෙරටේ අනාගතය ගොඩනගන යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ශීලාචාර දේශපාලනයක් සඳහා වෙච්ච නව දේශපාලන බලවේගයක් අලුත් අරුතකින් අනාගතයට ඉදිරියට යන්න.


ඒ සඳහා මේ රටේ සිටින සෑම ආත්ම ගරුත්වයක් ඇති පිරිසකගෙන්ම බලකාමයෙන් මත් නොවෙච්ච පිරිසකගෙන්ම කෙසේ හෝ මන්ත්‍රීකම ඇමතිකම ගැනීමට බලාපොරොත්තු නොවී රට ගොඩනගන්න බලාපොරොත්තු වන සෑම කෙනෙකුටම අපි ආරාධනා කරනවා.


මේ අභියෝගය ජය ගැනීමට අපි දැන් සුදානම්. නව දේශපාලන පෙරමුණකින් අපි ඊළඟ මැතිවරණයේදී අපේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරමු කියලා අපි මුළු රටින්ම ඉල්ලා සිටිනවා.


මේ විප්ලවීය පරිවර්තනය ඇති වුණු ඒ පෙරළිය හුදු පටු පෙරළියක් නොවී බල පෙරළියක් බවට පත්වන්නට ඒ බලපෙරළියෙන් ඔබ්බට ගිය යුග පෙරළියක් බවට පත්කරන්නට අප සියලු දෙනාම අධිෂ්ඨාන කරගමු.

ඒ සඳහා නව දේශපාලන කඩඉමක් අගෝස්තු 17 වන දින මැතිවරණයෙන් උදාකරගමු කියලා අපි සියලුම දේශපාලන පක්ෂ සංවිධාන වලින් විශේෂයෙන්ම දැන උගත් වියත් අපේ වෘත්තීයවේදීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා."

මේ අතර ජාතික හෙළ උරුමයේ නාමය එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සංශෝධනය කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එහි ලකුණ හක්ගෙඩිය වෙනුවට දියමන්තිය සංශෝධනය වී ඇති බව එම කාර්යාලය සඳහන් කළේය.

දේශපාලන පක්ෂ නම් සහ ලකුණු වෙනස් කිරීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබු කාලය ඊයේ දිනයෙන් අවසන් වුණි.

ඒ අනුව දේශපාලන පක්ෂ 4ක් සිය නම් සහ ලකුණු වෙනස් කිරීමට ඉල්ලුම් කර තිබු බව මැතිවරණ මහලේකම් කාර්යාලය  පැවසුවේය.

ද්‍රවිඩ මහා සභාව සිය ලකුණු නැව ලෙස සංශෝධනය කර ඇති අතර එක්සත් මහජන පක්ෂය ජංගම දුරකථනය සිය පක්ෂයේ ලකුණ ලෙස සංශෝධනය කර තිබේ.

 ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පක්ෂයේ නම අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස නම සංශෝධනය කර ඇති අතර එහි ලකුණ මල්පොහොට්ටුව ලෙස සංශෝධනය කර ඇති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ.