තාජුඩීන්ගේ දුරකථන දත්ත පිරික්සීමට උසාවියෙන් අවසර!

තාජුඩීන්ගේ දුරකථන දත්ත පිරික්සීමට උසාවියෙන් අවසර!

June 4, 2015   12:26 pm



රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ දුරකථන දත්ත විශ්ලේශනය කිරීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම් දුන් බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

තාජුඩීන්ගේ මරණය සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් මේවන විට ආරම්භ කර ඇති බව එහි නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ අනූව ඔහුගේ දුරකථනයට ලැබුණු හා ගත් ඇමතුම් සම්බන්ධයෙන් සොයාබැලීමට අවශ්‍ය බැවින් එහි දත්ත වාර්තාවක් ලබාදෙන ලෙසට අදාළ පෞද්ගලික දුරකථන සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි ද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

එම ඉල්ලීමට ඇහුම්කන් දුන් අධිකරණය දුරකථන දත්ත වාර්තාවක් ලබාදෙන්නැයි එකී සමාගමට නියෝගයක් නිකුත් කළ අතර ලබන ජූලි මස 02 වැනිදා යළි නඩුව කැඳවීමට ද නි‍යෝග කරමින් එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දන්වන ලෙසද නියම කර තිබේ.














පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.