මේ රටේ තවමත් ලේ පිපාසිත දේශපාලනඥයින් ඉන්නවා

මේ රටේ තවමත් ලේ පිපාසිත දේශපාලනඥයින් ඉන්නවා

May 22, 2015   11:26 pm



සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කළ දැරියගේ මළ සිරුර සමහරු දේශපාලන අවස්ථාවාදය සඳහා යොදාගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද පැවසීය.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ “අපි දන්නවා තවමත් මේ රටේ ලේ පිපාසිත දේශපාලනඥයින් ඉන්නා බව. ඔවුන්ට බලය ලබා ගැනීමට ජාතිවාදය, ආගම් වාදය අවුස්සා ජනතාව කුපිත කර රට අස්ථාවර කරන්න හදන බව“ යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
 
හිටපු ජනාධිපතිවරයා පෙරදිනක මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකින්ද ඒ බව පැහැදිලි වෙනවා යැයිද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

“ඔහුගේ කාලයේ දර්ගා නගරයේ කඩ පුච්චනකොට, මිනිස්සු මරනකොට මිනීමරුවන්ට පොලිසිය ලවා ආරක්ෂාව දුන්නා වගේ අපි කටයුතු කළේ නෑ. අපි පොලිසිය යෙදෙව්වේ ඉතා ප්‍රශස්ථ ලෙස සිවිල් සේනාවක් ලෙස සියලු ජනතා ආරක්ෂා කරන්නයි.

මේ රට නැවත අරාජිකත්වයට ගෙනියන්නට හිටපු ජනපති හිරකරගෙන සිටින ලේ පිපාසිත ජාතිවාදී කණ්ඩායම් වලට අපි ඉඩ දෙන්නේ නෑ කියන පණිවිඩයයි අපි දෙන්නේ. ඔහු පෙරදින කතා කළේ මේ රටේ වුණු එකම අපරාධය මෙය විදියට හුවා දක්වමින්“ යනුවෙන් ඒ මහතා අදහස් දැක්වීය.

එම මාධ්‍ය හමුවට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා එක්ව සිටි අතර ඔහුද එහිදී මෙසේ පැවසීය.
“මේක මේ  දැරියක ඝාතනය වීම නිසා කෝප වී ජනතාව පාරට බැහැලා කළ උද්ඝෝෂණයක්. මේක මේ ජාතිවාදයක්වත්, හමුදාවට විරුද්ධ වීමක්වත්, රජයට විරුද්ධ වීමක්වත් නොවෙයි. මං කනගාටු වෙනවා, අපේ හිටපු ජනාධිපතිතුමා මේ දිනවල පන්සල් ගානේ යනවා  මල් පූජා කරමින්. එතුමා පිං ගන්නවාට වඩා බොරු කියලා පව් පුරවා ගන්නවා විතරයි.

එතුමා කියා තිබෙනවා දැන් යාපනේ කොටි සැමරුම් පවත්වන බව. එල්ටීටීඊ සංවිධානය කියන්නේ තහනම් සංවිධානයක්. ත්‍රස්තවාදී සංවිධානයක්. මේ කතා කරන පිරිසිට රට ගැන ආදරයක් නෑ. ඔවුන්ට තිබෙන්නේ බලයට කෑදරකමක්. ජාතිවාදය අවුස්සා එළියට දමා බලයට එන්නේ කොහොමද කියලයි බලන්නේ.‘