සෝමවංශ යළි කැන්දන්න ජවිපෙ වෙරදරයි

සෝමවංශ යළි කැන්දන්න ජවිපෙ වෙරදරයි

April 17, 2015   02:45 pm


ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යළි සම්බන්ධ කරගනු වස් සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පවසයි.

ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එකී උත්සාහය සාර්ථක වනු ඇති බවයි.

කෙසේ වෙතත් ජවිපෙ විසින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත පරිදිය.


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහ සහෝදරයා 2015.04.16 දින පෞද්ගලිකව ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා, ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වන බව ප‍්‍රකාශ කොට තිබේ. 


මෙය ඉතා පැහැදිලිවම සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ පෞද්ගලික තීරණයකි. 


මෙම තීරණය ප‍්‍රකාශයට පත්කරන තුරු, ඒ පිළිබඳව පක්ෂය දැනුවත් භාවයක සිටියේ නැති අතර  සෝමවංශ අමරසිංහ සහෝදරයා පක්ෂයෙන් ඉවත්වීමට ගත් තීරණයට අප එකඟ නොවන බව අවධාරණය කළ යුතුය. 


සෝමවංශ සහෝදරයා පක්ෂයෙන් ඉවත්වන බව දැනගත් මොහොතේ සිට එම තීරණය වෙනස්කර ගැනීමට අප සාකච්ඡා කරමින් සිටිමු. 


සෝමවංශ සහෝදරයා නැවත පක්ෂයට සම්බන්ධකර ගැනීම සඳහා අප උපරිම ලෙස කටයුතු කරන අතර, එය සාර්ථක වනු ඇතැයිද සිතමු.


සෝමවංශ සහෝදරයා පක්ෂයෙන් ඉවත්වීමට ගත් තීරණය පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් හෝ පක්ෂයේ අර්බුදයක් නොවන බව ද, එය සෝමවංශ සහෝදරයාගේ පෞද්ගලික තීරණයක් බව ද, අවධාරණය කරමු.



දේශපාලන මණ්ඩලය,
ජනතා විමුක්ති පෙරමුණ,
2015.04.17