වැලමිට ළඟින් වෙන් වූ අතට ජීවයදීමට විශ්මිත සැත්කමක්

වැලමිට ළඟින් වෙන් වූ අතට ජීවයදීමට විශ්මිත සැත්කමක්

March 27, 2015   10:42 pm



බසයක වැදීම නිසා පාසල් සිසුවෙකුගේ  වැලමිට ප්‍රදේශයෙන් වෙන් වූ අතක් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ දැඩි පරිශ්‍රමයෙන් සැත්කමක් මගින් යළි සාර්ථකව  බද්ධ කෙරිණ.

ගම්පහ, බැලුම්මහර මංසන්ධියේදී නවතා තිබූ  පෞද්ගලික බසයක් පසුකර යාමට තවත් බසයක් උත්සාහ කිරීමේදී 14 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අතක් වැලමිට අසළින් වෙන්ව ගිය අවාසනාවන්ත සිදුවීමක් ඊයේ වාර්තා විය.

මෙලෙස අනතුරට මුහුණ දුන්නේ වැලිවේරිය මහබෝධි විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඕෂධ මධුසංඛ නැමැති සිසුවෙකි.

අනතුරින් පසු ගම්පහ රජයේ රෝහලට ඇතුළත් කෙරුණු ඕෂධ සැත්කමක් සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කෙරිණ.

රෝහල් අධ්‍යක්ෂ අනිල් ජා සිංහ මහතා පැවසුවේ අත බද්ධ කිරීම සඳහා පැය 10ක සැත්කමක් කළ  බවයි.

ජාතික රෝහලේ වෛද්‍යවරුන් වන ධම්මික දිසානායක, කපිල මෙන්ඩිස්, නිර්මාල් මාරසිංහ, එස්. සේලවගනේෂ්, ප්‍රවීන් විජේසිංහ, ප්‍රගාෂ් හා මුන්ෆයිස් යන අය විසින් මෙම සැත්කම සිදුකරන ලදී.

ඕෂධ මේවන විට ජාතික රෝහලේ සිව්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් පොලිසියට බාරවූ රියදුරා හා සහයකයා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණ.

මේ එම අනතුර හා සැත්කමට අදාළ ඡායා රූ පෙළකි.