රොෂාන්ගෙන් - ගාමිණිගෙන් ප්‍රකාශ ගත්තා

රොෂාන්ගෙන් - ගාමිණිගෙන් ප්‍රකාශ ගත්තා

March 27, 2015   01:04 pm




හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ව සිටි ගාමිණි සෙනරත් හා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රොෂාන් ගුණතිලක මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

ගාමිණි සෙනරත් මහතාගෙන් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද, රොෂාන් ගුණතිලක මහතාගෙන් ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන්ද එසේ ප්‍රශ්න කර ඇති බව ඒ මහතා පැවසීය.

2006 වසරේදී  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක් රේනයෙන්  ගෙන්වන ලද මිග් වර්ගයේ ගුවන් යානා 4ක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවීම හේතුවෙන් රුපියල් ලක්ෂ 140කට අධික වියදමක් රජයට දැරීමට සිදුවු බව සඳහන්ය.

එම මුල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රොෂාන් ගුණතිලක මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම  රාජ්‍ය බැංකුවක සහ ඊට අනුබද්ධ මූල්‍ය සමාගමක හිටපු සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගෙන් ද අදාළ මූල්‍ය සමාගමේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් ගැනද ප්‍රකාශයක් සටහන් කරගත් බව රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මීට පෙර ද අදාළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගාමිණී සෙනරත් මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

අද පෙරවරුවේ පැය 03 ක කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.