ජනපති සොහොයුරාට පොරොවකින් ප්‍රහාරයක් - ගුවන් මගින් කොළඹට! - සැකකරු  බාරවෙයි - විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ අරඹයි

ජනපති සොහොයුරාට පොරොවකින් ප්‍රහාරයක් - ගුවන් මගින් කොළඹට! - සැකකරු බාරවෙයි - විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ අරඹයි

March 26, 2015   09:07 pm



ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු පි‍්‍රයන්ත සිරිසේන මහතාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා තිබේ.

පොළොන්නරුව, බැදිවැව, හතරේ ඇළ ප‍්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය කියයි.

පොරොවකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා මේ වනවිට පොළොන්නරුව රෝහලෙන් හිඟුරක්ගොඩ රෝහලට මාරු කර යවා ඇත.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ඒමට නියමිතය.

මේ අතර මෙම පහරදීම සිදුකළ බව කියන සපුතන්ත්‍රිගේ දොන් ඉෂාර ලක්මාල් සපුතන්ත්‍රී නැමැති (34) සැකකරු බකමූණ පොලීසියට බාරවී ඇතැයි අප වාර්තාකරු කියයි.

සැකකරුට අයත් බව කියන බැදිවැව, හතරේ ඇළ ප්‍රදේශයේ පිහිටි ගරාජයකදී අද සවස මෙම පහරදීම සිදුව ඇත.

ඒ අනූව පොලීසියට බාරවූ සැකකරු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.