දැයට කිරුළෙන් ආබාධිත වෛද්‍ය සිසුවියට රු.මිලියන 180ක වන්දියක්

දැයට කිරුළෙන් ආබාධිත වෛද්‍ය සිසුවියට රු.මිලියන 180ක වන්දියක්

February 27, 2015   10:53 am

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් සදා තිබූ ගොඩනැඟිල්ලක කොටසක් කඩාවැටීමෙන් අබාධිත වූ වෛද්‍ය සිසුවියට රු.මිලියන 180ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

2008 වසරේ පෙබරවාරියේදී කොළඹ වෛද්‍ය විද්‍යාලය මගින් පැවැත්වීමට කටයුතු යොදා තිබූ ප්‍රදර්ශනයක කටයුතු සංවිධානය කරමින් තිබූ අවස්ථාවක සමිතා සමන්මලී නැමැති එම වෛද්‍ය සිසුවියද එම ස්ථානයට ගොස් තිබිණ.

ප්‍රදර්ශන‍යේ කටයුතු සංවිධානය කරමින් තිබියදී ඇද හැළුණු වැස්සෙන් බෙරීමට ඇය අසළ වූ තාවකාලික කුටියකට ගොස් තිබූ අතර ‍එම අවස්ථාවේදී එය ඇය මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවිය.

එසේ කඩා වැටී තිබුණේ දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් සාදා තිබූ ඉදිකිරීමක කොටසක් බව පැවසිණ.

මේ නිසාම සමිතා සමන්මලී නැමැති එම වෛද්‍ය සිසුවිය ආබාධයකට ලක්විය.

ඒ අනූව තමාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දියක් ගෙවන ලෙස ඇය විසින් පවරන ලද නඩුවට අදාළව තීන්දුව අද (27) ලබාදෙමින් කොළඹ දිසා අධිකරණය විසින් මෙලෙස රු.මිලියන 180 ක මුදලක් ගෙවන ලෙස බී.එම්.අයි.සී.එච් කළමනාකාරිත්වයට නියෝග කෙරුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.