සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් - පාර්ලිමේන්තුවටත් එයිද?

සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් - පාර්ලිමේන්තුවටත් එයිද?

January 21, 2015   05:15 pm

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තිබු සියලු චෝදනාවලින් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනූව ජනපතිට ඇති ප්‍රතිපාදන යටතේ ඔහුට ජනපති සමාව ලබාදීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.

ඒ අනුව ෆොන්සේකා මහතා අද සිට පූර්ණ ජෙනරාල් ධූරයට පත්කර ඇති අතර ඔහුට ලබාදී තිබූ සියලු පදක්කම් හා නම්බුනාමද හිමිය.

ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත්වීමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.

30 වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමේදී හිටපු ජනපති ‍මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිනායකත්වයෙන් සරත් ෆොන්සේකා මහතා එම මෙහෙයුමට නායකත්වය ලබාදුන්නේය.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව පැවැති 2010 ජනපතිවරණයේදී ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග තරඟ කළේය.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය යටතේ ෆොන්සේකා මහතා 2010 මහමැතිවරණයට තරඟ කළ අතර ඔහු කොළඹ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

කෙසේ වෙතත් දේශපාලනයට පිවිසි සරත් ෆොන්සෙක් මහතාට විවිධ කාරණා සම්බන්ධයෙන් චෝදනා ද නැගිණ.

මේ අනූව ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විමර්ශනයට යුධ අධිකරණයක් ද පත් කෙරිණ.

එසේම ෆොන්සේකා මහතා හයිකෝප් නඩු තීන්දුව යටතේ වසර දෙකහමාරකට සිරගත කළ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු ගමනද ඉබේම නතර විය.

එසේ සිරගතව සිටියදී  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව යටතේ ඔහුට නිදහස ලබාදුන්නේය.

අනතුරුව ඔහු යළිත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් නව දේශපාලන පක්ෂය ද පිහිටුවා ගැනීමට සමත් විය.

‍කෙසේ වුවද වත්මන් ආණ්ඩුව යටතේ සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියලු වරප්‍රසාද ලබාදෙන මැතිවරණ වේදිකාවේද කියැවුණි.

ඒ අනූව ඔහුට අද ජනපති සමාව හිමිව ඇති අතර අහිමි වූ නිලයන්ද ලැබී ඇත.

ෆොන්සේකා මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමත් සමග යළිත් ඔහුට පාර්ලිමේන්තු අසුන ලබාගත හැකිද යන කාරණය මීළඟට ඉතිරිව ඇති අනෙක් කාරණය වන්නේය.

කෙසේ වුවද ඉකුත් දා ජයන්ත කැ‍ටගොඩ (සරත් ෆොන්සේකා මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුනට තේරීපත්වූ) මන්ත්‍රීවරයා පවසා තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයා සහතිකයක් ලබාදෙන්නේ නම් තමන් එම පාර්ලිමේන්තු අසුන ලබාදීමට සුදානම් බවය.



ඉහත දක්වා ඇත්තේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය යටතේ වරදකරුවෙකුට ජනපති සමාව ලබාදීමට අදාළ කාරණාය.