අරලිය මැදුරේ කුමන්ත්‍රණයේ වාර්තාව සතියක් ඇතුළත ඕනෑ - අද එකඟතාවයට ආවා

අරලිය මැදුරේ කුමන්ත්‍රණයේ වාර්තාව සතියක් ඇතුළත ඕනෑ - අද එකඟතාවයට ආවා

January 20, 2015   03:15 pm

ඡන්දය දින රාත්‍රී සිදුකිරීමට ගිය බව කියන කුමන්ත්‍රණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට පවත්වාගෙන යන පරීක්ෂණයේ වාර්තාව සතියක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය යන එකඟතාවයට අද රැස්වූ ජාතික විධායක සභාව පැමිණි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනූව ජයග්‍රාහි පාර්ශවයට බලය නොදීම සඳහා සැලසුම් කළ බව කියන කුමන්ත්‍රණය ගැන අද දිනයේ ජාතික විධායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව හෙතෙම කියයි.

එසේම රහස් පොලීසිය විසින් අදාළ පාර්ශවයන්ගෙන් කටඋත්තර ලබාගෙන සතියක් ඇතුළත එහි වාර්තාවක් සකසා ඉදිරිපත් කළ යුතු බවට එකඟතාවයට පැමිණි බව ඒ මහතා පවසයි.

තවද අදාළ පරීක්ෂණය සඳහා ජ්‍යෙෂ්ඨ නි‍යෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කිරීමටද තීරණය වූ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද රැස්වූ ජාතික විධායක සභාවේදී තීරණයකට එළඹි බව කියා සිටියේය.

එසේම එහිදී යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනවකවානු ගැනද එකඟතාවයට පැමිණි බව මන්ත්‍රීවරයා පැවසීය.

තවද මෙරට සිදුව ඇති මහජන කොල්ලකෑම් පමණක් නොව පැහැරගෙනයාම්, ඝාතන, පහරදීම් වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටුකිරීම සඳහා චෝදනා ලැබූවන් නීතිය හමුවට පැමිණවීමටද, වංචා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉවත් කොට වෙනත් අයෙක් පත් කිරීමට තීරණය වූ බව ඒ මහතා කීවේය.

මේ අතර යුද්ධයෙන් පසු උතුරේ දේපළ, වාහන, රත්තරන්වලට සිදුවුයේ කුමක්දැයි සොයා බැලීමටද ජාතික විධායක සභාව එකඟතාවයට පැමිණි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නව රජය යටතේ ජාතික විධායක සභාව අද රැස්වූයේ දෙවන වරට වන අතර මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින් සහභාගි වේ.