ජාතික විධායක සභාවේ පළමු රැස්වීම සාර්ථකයි

ජාතික විධායක සභාවේ පළමු රැස්වීම සාර්ථකයි

January 15, 2015   11:17 pm

ජවිපෙ විසින් යෝජනා කරන ලද ජාතික විධායක සභාව පළමු වතාවට අද (15) පස්වරුවේ ජනා‍ධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.

දින 100 වැඩසටහනට අනුව යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා පුරවැසි සංවිධානවල නියෝජනයෙන් යුතු ජාතික විධායක සභාවේ ප්‍රථම රැස්වීම මෙය වේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකසහ ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

රැස්වීම අවසානයේ අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයට කියා සිටියේ ජාතික විධායක සභාවේ පළමු රැස්වීම සාර්ථක වූ බවයි.

එහිදී දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කරන දින වකවානු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත්, අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතා කිහිපයකට එළැඹීමට හැකි වූ බවත්, ඒ මහතා කියා සිටියේය.

එසේම තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව හෙතෙම පැවසීය.

තවද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ දැඩි අවධානයක් යොමුකර එ් සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ද තීරණය කළ බව ඔහු කියා සිටියේය.