ඉංජිනේරු සේවකයින් ඡන්ද වැඩට යොදාගනු එපා

ඉංජිනේරු සේවකයින් ඡන්ද වැඩට යොදාගනු එපා

December 18, 2014   05:11 pm

ඉංජිනේරු සංස්ථා සේවකයින් නීති විරෝධී ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගනිමින් සිටින බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමසාරිස්වරයාට යොමු කළ ලිපියක මේ බව දැක්වෙයි.

එකී ලිපියේ මෙසේද සඳහන්ය.

පසුගිය සෑම මැතිවරණයකදී පාහේ මෙන්ම සුපුරුදු පරිදි මෙවරද ඉංජිනේරු සංස්ථා සේවකයින් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී. මේ අතරට සංස්ථාවට අයත් ආරක්‍ෂක අංශ සේවකයින්, අලෙවි සංවර්ධන නිලධාරින්, විදුලි කාර්මිකයන්, රියදුරන්, කළමනාකරණ සහකාර නිලධාරීන්, පුහුණු නුපුහුණු සේවකයින් ආදී විවිධ තනතුරුවලට අයත් විශාල පිරිසක් ඇතුළත්ය.

මින් සාතීශය බහුතරය පසුගිය කාලය තුළ දේශපාලන හිතවත්කම් මත සංස්ථාවට බඳවාගත් පිරිස් වන අතර මේ අතරින් බොහෝ පිරිසක් පූර්ණ කාලීනව මැතිවරණ කටයුතු සඳහා යොදවා ඇති බවද දැනගැනීමට ඇත. මෙලෙස මොවුන් මැතිවරණ කටයුතු සඳහා යොදාගැනීම සිදුවන්නේ ඔබතුමන් විසින් ‘ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව රජයේ හෝ රාජ්‍ය සංස්ථා ඇතුළු ආයතන වල නිළධාරින් කිසිවෙකුට කාර්යාල වේලාව තුළ හෝ කාර්යාල දිනවල රාජකාරි නිවාඩු ලබාගෙන හෝ කිසියම් ජනාධිපතිධූර අපේක්‍ෂකයකු ප‍්‍රවර්ධනය කිරීම සඳහා හෝ කිසියම් ජනාධිපතිධූර අපේක්‍ෂකයකුට එරෙහිව ක‍්‍රියාකිරීම සඳහා අවකාශ නොදිය යුතුය‘ යනුවෙන් හා ‘එසේ ක‍්‍රියාකරන නිලධාරින් හා සේවකයින් පිළිබඳව දැඩිව විනයානුකූල ක‍්‍රියාමාර්ග ගතයුතු‘ බව ආයතන ප‍්‍රධානීන් වෙත දන්වා තිබියදීය.

මැතිවරණ නීතියට හා ඔබතුමන්ගේ උපදෙස් වලට පටහැනිව සිදුවන මෙවැනි කි‍්‍රයා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් වන බැවින් මේ සම්බන්ධයෙන් ඔබතුමන්ගේ කඩිනම් අවධානය යොමුකර මෙම තත්ත්වය වෙනස් කරලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අප සංගමය ඉල්ලා සිටින්නෙමු.