ඇන්ටනොව් යානය කඩාවැටෙයි - මළ සිරුරු 4ක් හමුවෙයි - 5ක් ගිහින්

ඇන්ටනොව් යානය කඩාවැටෙයි - මළ සිරුරු 4ක් හමුවෙයි - 5ක් ගිහින්

December 12, 2014   07:37 am

කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -32 වර්ගයේ ගුවන්යානයක් ‍හෝකන්දර-නැගෙනහිර, හොරහේන ප්‍රදේශයට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ තිදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.

අද අළුයම මෙම ගුවන්යානය අනතුරට ලක්වන අවස්ථාව වන විට එහි පස්දෙනෙකු සිට ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක,වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

අධික මීදුම තත්ත්වය හේතුවෙන් යානයේ ගමන් මග අපැහැදිලි බවට එහි නියමුවන් අවසන් වරට දැනුම් දී ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉන් විනාඩි කිහිපයකට පසු යානය සමඟ තිබු සබඳතා බිදවැටී ඇත.

මේ අතර අනතුරින් දැඩි පිළිස්සුම් තුවාල ලැබ බේරාගනු ලැබූ එක් අයෙකු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කඩා වැටුණු යානයේ ඇති වූ ගින්න ප්‍රදේශවාසින්ගේ මැදිහත්වීමෙන් පැය කිහිපයකට පසු මැඩපවත්වා තිබේ.

අනතුරෙන් නිවාස 02කට පමණ හානි සිදුව ඇත.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යානයේ ප්‍රධාන නියමු ස්කෝඩ්රන් ලීඩර් ජේ.එම්.ඩබ්ලිව්.එන් අබේවර්ධන, සහායක නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඒ.ඒ.ඩී.ටී අමරතුංග, බලපංති සැරයන් එම්.ඩබ්ලිව්.එල් ප්‍රියන්ත සහ කෝප්‍රල් ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.එන් විජේරත්න යන අය බවට ගුවන් හමුදාව විසින් තහවුරු කර තිබේ.

ගුවන් යානා අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගුවන් භට ජී.කේ.එන් චතුරංග බව ගුවන් හමුදාව පවසයි.

ඇන්ටෙනොව් 32 වර්ගයේ ගුවන් යානය තුළ මගීන් 40 දෙනෙකුට පමණ ගමන් කළ හැකි අතර අනතුරට පත් යානය 1996 වසරේ රුසියාවෙන් මෙරටට ගෙන්වා ඇති යානයකි.

ඒ අමෙරිකානු ඩොලර් මිලියන 4යි දශම 25ක මුදලකටය.

මේ අතර අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරිම සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර තිබේ.

එබැවින් පරික්ෂණ සඳහා බාධා වන අයුරින් යානය අනතුරට ලක්වු ප්‍රදේශය නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස ආරක්ෂක අංශ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යානයේ සුන්බුන් ඇල්ලීමෙන් හෝ රැගෙන යාමෙන් වළකින ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.