හොරණින් අතුරුදන් වූ ළමයා අනුරපුරෙන් හමුවෙලා

හොරණින් අතුරුදන් වූ ළමයා අනුරපුරෙන් හමුවෙලා

October 24, 2014   10:13 am

හොරණ බටුවිට, ගෝණපල ප්‍රදේශයේ අතුරුදන්ව සිටි නව හැවිරිදි පිරිමි දරුවා සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ දී දරුවා සොයාගෙන ඇති බවයි.

ඊයේ පස්වරුවේ අදාළ දරුවා ඔහුගේ මව, මිත්තනිය සහ ඥාති හිමිනමක් සමඟ පාපැදියක් මිලදී ගැනීම සඳහා හොරණ නගරයට ගොස් තිබු අතර දරුවාගේ මව සහ මිත්තනිය අසළ බැංකුවකට ගිය අවස්ථාවේදී ඥාති හිමනම දරුවා සමඟ අතුරුදන්ව තිබුණි.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමීණිල්ලකට අනුව පොලිසිය විමර්ශන සිදුකළ අතර අද උදෑසන අනුරාධපුර, ජේතවන දාගැබ අසළ දී එම හිමිනම සමග සිටි දරුවා රුවන්වැලි සෑ පොලිස් මුරපළේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

දරුවා රැගෙන ගිය එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.