වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා - පැහැරගත් දැරියගේ මව හඬමින් කී කතාව!

වනේ වන හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා - පැහැරගත් දැරියගේ මව හඬමින් කී කතාව!

September 12, 2014   11:54 pm

කුරුණෑගල, වැල්ලවදී පමාරා කේෂානි බණ්ඩාර දැරිය පැහැරගත් බව කියන 32 හැවිරිදි විවාහකයෙකු සොයා පොලීසිය හා විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරිය රඳවාගෙන සිටි බව කියන නෙරියාව ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටි බව කියන ඔහුගේ මව (60) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම නිවසේ පදිංචිව සිට ඇත්තේ සැකකරුත් ඔහුගේ මවත් පමණක් බව පැවසෙන ඔහුගේ වැඩිමහල් සහෝදරයා පදිංචිව සිට ඇත්තේ ඉබ්බාගමුවේය.

දැරිය පැහැර ගැනීමට ලක්වූ කුරුණෑගල වැල්ලව නිවස හා සැකකරු දැරිය රඳවාගෙන සිට කුරුණෑගල නෙරිය නිවස අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් 7ටත් අඩු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.

අද පස්වරු 4.15ට පමණ 119 අංකයට ලැබුණු තොරතුරකට අනූව පොලීසිය ක්‍රියාත්මක වී දැරිය සොයාගැනීමට සමත් විය.

ඒ එම සැකකරුගේ ඥාතියෙකුගේ දියණියක විසින් ලබාදුන් තොරතුරකට අනූව බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධිය ගැන අද දෙරණට අදහස් දක්වමින් එම ප්‍රදේශයේ තරුණියක කියා සිටියේ මෙම සැකකරු හා ඔහුගේ අයියා අතර ඇති වූ බහින් බස්වීමක් නිසා දැරිය ගැන තොරතුරු අනාවරණය වී ඇති බවයි.

ඒ සැකකරුගේ අයියා බව පැවසෙන පුද්ගලයා හදිසියේ නිවසට පැමිණි විට සඟවා ගෙන සිටි දැරිය දැකීමෙන් පසුය.

එහිදී මවගෙන් මේ ගැන විමසූ කල මල්ලි විසින් එම දැරිය ගෙනැවිත් රඳවාගෙන තිබෙන බව මව විසින් කියා ඇතැයි පැවසේ.

ඒ අනූව අයියා බව කියන පුද්ගලයා මේ ගැන ඔවුන්ගේ බාප්පා බව පැවසෙන පුද්ගලයෙකුට පවසා ඇතැයි සඳහන්ය.

අනතුරුව බාප්පා මෙම දැරිය රඳවාගෙන සිටි ස්ථානයට ගොස් දැරියට කඩෙන් කෑමට “ටිපිටිප්“ ද අරගෙන දී ඇති අතර දවාලට කෑවේ මොනවාදැයි දැරියගෙන් ඇසූවිට “කිරිබත් කෑවා“ යැයි ද දැරිය පවසා තිබේ.

කෙසේ හෝ සිද්ධියට සම්බන්ධ බව කියන 32 හැවිරිදි සැකකරු විවාහකයෙකු බවත් ඔහුගේ බිරිය ඔහු හැරදා ගොස් ඇති බවත් පැවසේ.

පමාරා දැරිය පැහැර ගෙන නිවසේ රඳවා තබා ගැනීමට මව සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වන පොලීසිය මෙම දෙපිරිස අතර ඥාතී සම්බන්ධයක් ඇතැයි සැකකරයි.

කෙසේ හෝ පමාරා දැරිය අද සවස බේරා ගන්නා විට ඇයගේ කොණ්ඩය ද ටිකක් කපා තිබී ඇති බව පැවසෙන අතර දැරිය නිවසේ ලෑලි ගොඩාක් අතර සඟවා තබා ගැනීමට සැකකරු සමත්ව ඇතැයි පැවසේ.

බේරාගත් දැරිය අද සවස කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඇයට විශේෂ ප්‍රතිකාර ලබාදීමට පියවර ගැනිණ.

දැරිය හමුවීමෙන් පසු මව හඬා වැලපෙමින් සතුටු කඳුළු වගුරමින් කියා සිටියේ වනේ වන හතුරෙකුටවත් මෙවැනි දුකක් ඇති වෙන්නා එපා කියාය.

“අම්මා කෙනෙකුට දරුවෙකුගේ දුක උහුලන්න බෑ. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් මේ වගේ දේවල් කරන්න එපා“ කවුරුත් මේ වගේ අපරාධ කිරීමට නොපෙළෙඹෙන ලෙසත් ඉල්ලා සිටි ඇය මෙවැනි අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පවත්නා නීති දැඩි කළ යුතු බවද කියා සිටියාය.

දරුවා පැහැර ගැනීමට නිශ්චිත හේතුව පලාගිය සැකකරු අත්අඩංගුවට ගන්නා තුරු නිගමනයකට පැමිණිය නොහැකි බව පොලීසිය කියයි.

පමාරා කේෂාණි දැරිය ඉකුත් 8 වැනිදා රාත්‍රී සිය මව්පියන් හා සහෝදරයා සමග නිදා සිටියදී පැහැර ගැනීමට ලක්ව තිබිණ.

ඒ දැරිය නිදාගත් ස්ථානයේ තිබූ ඉටිරෙද්දක් කපා දමමිනි.

දැරිය සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් හා රහස් පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.