සාමිගේ ලංකා ගමන ගැන තමිල්නාඩු කොංග්‍රස් කමිටුවට ප්‍රශ්නයක්

සාමිගේ ලංකා ගමන ගැන තමිල්නාඩු කොංග්‍රස් කමිටුවට ප්‍රශ්නයක්

August 20, 2014   07:41 am

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියන් සාමි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම කුමන පදනමක් මත සිදුවන්නේ දැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පෙන්වා දිය යුතු බව තමිල්නාඩු කොංග්‍රස් කමිටුව පවසයි.

එම කමිටුවේ සභාපති බී.එස් ඥානදේසිකන් පවසන්නේ සුබ්‍රමනියන් සාමි ඉන්දියාවේ කුමන පාර්ශවයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ද පිළිබඳව ඉන්දීය රජය පැහැදිළි කළ යුතු බවයි.

බී.එස් ඥානදේසිකන් මේ බව ප්‍රකාශ කළේ නිදහස් සටන්කාමියෙකු ලෙස සැළකෙන සත්‍යමුර්ති සහ කොංග්‍රස් නායකයෙකු වු ජී.කේ මුපනාර් ගේ අනුස්මරණ උත්සවයට සහභාවීමේ දී නැගු පැනයකට පිළිතුරු දෙමින්ය.

එහිදී ඉන්දීය මාධ්‍ය හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ ධීවර ගැටලුව සම්බන්ධයෙන් ද මධ්‍යම රජයේ ස්ථාවරය එහිදී ප්‍රකාශ කළ යුතු බවයි.

කෙසේ වෙතත් ආචාර්ය සුබ්‍රමනියන් සාමි අද දෙරණ සමඟ විශේෂ සාකච්ජාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන තමිල්නාඩු විරෝධය පිළිබඳව අදහස් දැක්වුවේය.

එහිදී ඔහු පැවසුවේ තමිල්නාඩු දේශපාලන පක්ෂ යනු පරාජිතයින් පිරිසක් බවයි.

මොඩි රජය කිසි විටෙක ප්‍රාන්ත, පක්ෂ මත කටයුතු නොකරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ හිතවාදී කොටස් අසාර්ථක පිරිසක් බව සුබ්‍රමනියන් සාමි අද දෙරණ සමඟ පැවසුවේය.