උතුරු දුම්රිය මාර්ගයත් කෝටි ගණනක ජනතා මුදල් ගැරිල්ලක්

උතුරු දුම්රිය මාර්ගයත් කෝටි ගණනක ජනතා මුදල් ගැරිල්ලක්

August 19, 2014   06:03 pm

උතුරු දුම්රිය මාර්ගය සෑදීම දඩමීමා කරගනිමින් ආණ්ඩුව කෝටි ගණනක මුදල් කාබාසිනියා කරමින් සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

පලෙයි සිට කන්කසන්තුරෙයි දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ දිග කි.මී 56 ක් බවත්, එම දුම්රිය මාර්ගය සාදා නිම කිරීම සඳහා ඉන්දීය සමාගමකට ලබාදීමට ඇස්තමේන්තු ගත වියදම අ.ඩො මිලියන 149 ක් බවත් සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී විතානගේ මහතා පවසයි.

එය ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 1938 ක් බව විතානගේ මහතා කියා සිටියේ අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව එක් කිලෝ මීටරයක දුරක් සෑදීමට රු.කෝටි 34 ක් මුදලක් වැයවන බවත්, එය ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දේශීය ශ්‍රමිකයින් යොදවා සිදුකරනු ලැබුවේ නම් වැයවෙනු ඇත්තේ උපරිම කිලෝ මීටරයකට ලක්ෂ 800-1000 ක අතර ප්‍රමාණයක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් ආණ්ඩුව දැනටමත් එක් කිලෝ මීටරයකට වංචා සහගත ලෙස ජනතාවගේ මුදල් රු.කෝටි 26 ක් නාස්ති කිරීමට තීරණය කර ඇති බව විතානගේ මහතා සඳහන් කළේය.

දුම්රිය මාර්ගයක් තැනීමට කිලෝ මීටරයකට අවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් සලකා බලන විට සිල්පර කොටන් 1500ක්,පීලි 100ක්,පෙන්ඩෝලිනෝ කිප් 6000 ක්,ගල් කියුබ් 1000 ක් පමණ වැය වන බවත්, දැනට රජය මීට බොහෝ සෙයින් වැඩි වියදමක් සඳහා ගණන් හිලව් තබා ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉන්දීය සමාගමට ගෙවීමට ඇස්තමේන්තු කර ඇති මුදලින් එවැනි දිගකින් යුතු මාර්ග 3ක් හෙවත් කි.මී 168 ක් සෑදිය හැකි බව විතානගේ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව නාස්ති කෙරෙන මුදලින් යෝජිත මාතර-කතරගම දුම්රිය මාර්ගය සම්පූර්ණ දුම්රිය නැවතුම්පොළවල් සමග සාදා තවත් විශාල මුදලක් ඉතිරි කර හැකිව තිබුණු බව ඔහු පැහැදිලි කළේය.

යුද්ධයෙන් පසුව සිංහල-දෙමළ-මුස්ලිම් සමගිය ගොඩනැංවීම පිළිබඳ ආණ්ඩුව උජාරුවෙන් කරුණු කියා සිටියද, ඒ සඳහා ඉඩ ප්‍රස්ථාවක් සලසා ගත හැකිව ඇති මෙම දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීම පවා ජනතාවගේ මුදල් කාබාසිනියා කරදැමීමේ ව්‍යාපෘතියක් පමණක් වීම ඉතාම කනගාටුදායක බව විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.