මහ ඇමතිගේ පිතිහරඹය ගැන පොලීසිය මෙසේ කියයි

මහ ඇමතිගේ පිතිහරඹය ගැන පොලීසිය මෙසේ කියයි

July 22, 2014   02:23 pm

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද කියා සිටියි.

පොලිස් මූලස්ථානය විසින් ඒ පිළිබඳව මාධ්‍යයට නිකුත් කළ නිවේදනය පහත පරිදිය.

කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72 ප‍්‍රතිකාර ලබන 36 / 09 මැල්වත්ත, රාජගිරිය ලිපිනයේ පදිංචි ජී.ඩබ්ලිව් පියසේන යන අය වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු වෙත ප‍්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ 2014.07.21 වන දින සවස 05.00 පමණ යාබද නිවසේ පදිංචි බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් කි‍්‍රකට් පිත්තකින් පහර දී තමාට තුවාල සිදු කළ බවයි. මොහුගේ වම් අත තුවාල වී ඇති බවට නිරීක්‍ෂණය වේ.

එමෙන්ම 94 /6 මැල්වත්ත, රාජගිරිය ලිපිනයේ පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතා අද දින වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ 2014.07.21 වන දින සවස 05.00 ට පමණ ඔහු දරුවන් දෙදෙනා හා බිරිඳ සමඟ නිවසේ සිටින විට අල්ලපු නිවසේ පදිංචි පියසේන යන අය පිහියක් රැගෙන තම නිවස වටා ඇති තාප්පය උඩට නැඟ පරුෂ වචනයෙන් බැණ වැදීමක් කළ නිසා ඒ පිළිබඳව තම පුද්ගලික ආරක්‍ෂක නිලධාරියා සමඟ එළියට බැස පියසේන නැමැත්තාගෙන් විමසීමක් කළ බවත් බැණ වැදීම සම්බන්ධව විමර්ශන කරන ලෙසත් ඉල්ලා සිටින බවත්ය’