මැතිවරණ  සඳහා ජාතිවාදය යොදා නොගත යුතුයි

මැතිවරණ සඳහා ජාතිවාදය යොදා නොගත යුතුයි

July 13, 2014   04:44 pm

තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සීම ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකින බවත්, මැතිවරණ සඳහා ජාතිවාදය යොදා නොගත යුතු බවත් ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

එසේම ඉතිහාසයේ සිටම සිංහල දේශපාලඥයින් සිංහල ජාතිවාදය ඇවිස්සු බවත්, දෙමළ දේශපාල ඥයින් දෙමළ ජාතිවාදය ඇවිස්සු බවත්, මුස්ලිම් දේශපාලඥයින් මුස්ලිම් ජාතිවාදය ඇවිස්සු බවද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවේදී ඒ මහතා පහත පරිදී අදහස් දැක්විය.

පළාත් සභා මැතිවරණ රැල්ලේ අවසන් මැතිවරණය ලෙස තමයි ඌව පළාත් සභාව පැවැත්වෙන්නේ. මෙය ජාතික දේශපාලනයට ඉතා වැදගත්. රාජපක්‍ෂ ආණ්ඩුව 2009 අගෝස්තු ඌව පළාත් සභාව අවසන්වරට පැවැත්වීමෙන් පසු 2010 ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳෙව්වා.

2005න් පසු නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව තිබුණේ වසර 6කින්. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා පොරොන්දු වුණේ දෙවන ධූර කාලය තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලයි. එහෙම කියපු මහින්ද රාජපක්‍ෂ 2011 පැවැත්විය යුතු ජනාධිපතිවරණය 2010ට ගෙනාවා. ඒ තමන්ගේ ඒකාධිපති බලය තහවුරු කරගන්නයි.

මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් පසුවත් ජනාධිපතිවරණයක් කැඳවීමේ හැකියාව තිබෙනවා. එවැනි කතාබහක් මේ දිනවල තිබෙනවා. නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුව තිබෙන්නේ 2016දීයි. ආණ්ඩුවේ බලය පිරිහීම, ජනතාව ආණ්ඩුවට එරෙහිව දිනෙන් දින පෙළ ගැසීම වැනි කරුණු නිසා 2016 වනතෙක් තවදුරටත් ආණ්ඩුවට පවතින්න බැහැ. ඒ බය ආණ්ඩුවට තිබෙනවා. එනිසා තමයි ඉක්මන් ජනාධිපතිවරණයක කතාබහක් මතුවෙලා තිබෙන්නේ.

මෙම ඌව පළාත් සභා මැතිවරණය ඌව ජනතාවට බලපාන මැතිවරණයක් පමණක් නොව ජාතික දේශපාලනයේ සන්ධිස්ථානයක්. එනිසාම ජවිපෙ මෙම පළාත් සභා මැතිවරණය ඒ බරින්ම ගෙන කටයුතු කරමින් තිබෙනවා. ආණ්ඩුව මොන තරම් සංවර්ධනයේ පුරාජේරු කතා කීවත් ශී‍්‍ර ලංකාවේ දුප්පත්ම පළාත් සභාව ඌව පළාත් සභාවයි.

ඌව පළාත් සභාවේ තමයි ලංකාවේ දුප්පත්ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හතරම තිබෙන්නේ. සියඹලාන්ඩුව, කන්දකැටිය, මඩුල්ල, රිදීමාලියද්ද සියල්ල තිබෙන්නේ ඌව පළාත් සභාව තුළයි. ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛණවලට අනුව එය තහවුරු කරනවා. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වගේම ආණ්ඩුව ඌවට පාවිච්චි කළේ පුබුදමු වෙල්ලස්ස නම් සුන්දර වචනයි.

හිටපු මහඇමති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහඇමති වුණාට පස්සේ කිව්වේ ඌව පළාත් ජනතාවට බොන්න වතුර ටික, අධ්‍යාපනය සියලූ දේ ලබා දෙනවා කියලයි. එසේ තිබියදී 2013 වාර්ෂික වාර්තාවේ 374 පිටුවේ පැහැදිලිව සඳහන් වෙනවා දරිද්‍රතාවය වැඩිම පළාත ඌව පළාත් සභාව කියලා. වසර ගණනාවක් යුද්ධය පැවතුනු උතුරු නැගෙනහිර පළාත්වලටත් වඩා ඌව පළාතේ දරිද්‍රතාවය වැඩිවෙලා. එහෙනම් ඌව පළාතට ගෙනාපු සංවර්ධනය කෝ?

ඒ කතා ආණ්ඩුවේ මිත්‍යාවන් පමණයි. රජරට නවෝදය, කඳුරට නවෝදය, පුබුදමු වෙල්ලස්ස, සබරගමු අරුණාලෝකය, වයඹ පුබුදුව, රුහුණු උදානය, බටහිර රන් අරුණ, වගේ ලස්සන වචන පාවිච්චි කළත් අවසානයේදී ඌව පළාත් සභාවත් දරිද්‍රතාවය වැඩිම පළාතක් වී තිබෙනවා.

ඌව පළාතේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ ජනගහනයෙන් අඩකට වැඩි ප‍්‍රමාණයක් වතුකර ජනතාවයි. ඔවුන් තමයි දරිද්‍රතාවයෙන් වැඩිපුරම බැට කන්නේ. ස්ථිර නිවාසයක් නැහැ; වැසිකිළි නැහැ; බොන්න වතුරටික නැහැ; දරුවන්ට පාසැල් නැහැ; සෞඛ්‍ය පහසුකම් නැහැ. තොණ්ඩමන් වැනි දේශපාලකයන්ගේ මන්තී‍්‍රවරු පළාත් සභාවේ හිටියට ඒ කිසිවක් සපයලා නැහැ. තොණ්ඩමන් ඇමතිවරයාගේ වැඩිමල් සහෝදරියගේ පුතෙක් තමයි ගියවර බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප ගත්තේ.

නමුත් වතුකර ජනතාව තවමත් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. බදුල්ල, මොණරාගල දිස්ති‍්‍රක් ජනතාව ප‍්‍රධාන වශයෙන් මුහුණ දෙන ප‍්‍රශ්නයක් තමයි පානීය ජලය නොමැතිකම. මේ වනවිටත් ප‍්‍රදේශවාසීන් කිලෝමීටර් 4-5ක් බොන්න වතුර හොයාගෙන යනවා. ඒ වගේම තමයි එළවලූ වගාවට ජල පහසුකම් නොදීපු නිසා මේ වනවිට එළවලූ මිල දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝ එක 800-850ට ඉහළ ගිහිල්ලා.

බණ්ඩාරවෙල, වැලිමඩ එළවලූ ගොවීන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටිනවා. වතුරටික, පොහොර ටික, බීජ ටික සපයගන්න විදියක් නැහැ. ගොවීන් තමන් විසින් නිෂ්පාදනය කරගත් බීජ ටිකටත් ආණ්ඩුව තහනමක් පනවලා බහුජාතික සමාගම්වලට අවශ්‍ය විදියේ බීජ පනත් ගෙනල්ලා තිබෙනවා.

මේ ආණ්ඩුව අධිවේගී, කාපට් පාරවල් ගැන මහ ලොකුවට කතා කරනවා. බදුල්ල දිස්ති‍්‍රක්කයේ ගම්වලට ගියාම දකින්න පුළුවන් තවමත් තිබෙන්නේ සුද්දන්ගේ කාලේ හදපු පාරවල්. කොස්ලන්ද, නිකපොත, ලේවැල්ල ජනතාව පක්‍ෂ බේදයෙන් තොරව බෙරගල හන්දියේ උද්ඝෝෂණ කරන්නේ ඒ නිසයි. දිස්ති‍්‍රක්ක දෙකේම තත්වය වෙනසක් නැහැ.

වනජීවි ඇමති ඉන්නේ මොනරාගල දිස්ති‍්‍රක්කයේ. නමුත් මොනරාගල දිස්ති‍්‍රක්කයේ ජනතාව වැඩියෙන්ම බැට කන්නේ වන අලින්ගෙන්. ඔවුන් වල් අලි උවදුර නිසා බරපතල ප‍්‍රශ්්නවලට මුහුණ දෙනවා. අමාරුවෙන් වගකරන බෝග විනාශ කරනවා. රාතී‍්‍ර 2-3 වනතුරු ඒ ජනතාවට නින්දක් නැහැ.

ඉතාම කණගාටුදායක තත්වය වන්නේ මොනරාගල දිස්ති‍්‍රක්කයේ කැබිනට් ඇමතිවරු තුන්දෙනෙක් සිටිද්දී ජනතාවගේ පානීය ජල ප‍්‍රශ්නයට තවමත් විසඳුමක් නැති එකයි. අඩුම තරමේ ජනතාව වගාකරන එළවළු ටික විකුණගන්න වෙලඳපොලක් හදාගන්න බැරිවෙලා තිබෙනවා.

දිස්ති‍්‍රක්ක දෙකේ දේශපාලඥයින්ගේ කඹ ඇදීම නිසා ඌව ජනතාව පීඩාවට පත්වෙලා. පළාත් සභාවේ මහ ඇමතිවරයයි, දිස්ති‍්‍රක්කයේ කැබිනට් ඇමතියි එකඟතාවයක් නැහැ. කැබිනට් ඇමතිවරු එකිනෙකාට එරෙහිව කටයුතු කරනවා.

ඒ නිසා තමයි ගම්වල මිනිස්සු කියන්නේ පුෂ්පකුමාර දෙන පොල්පැල කන්න සොයිසාගේ අලිටික ගම්වලට එනවා කියලා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අයියගේ පුතා මහඇමති වෙලත් තවමත් ඒ ජනතාවට බොන්න වතුර ටික නැහැ. බාප්පගේ බලය පාවිච්චි කරලා ශෂේන්ද්‍ර රාජපක්ෂ කැබිනට් ඇමතිවරුන්ට ඉහළින් වැඩකරන්න යන නිසා හැමදාම ගැටලූ නිර්මාණය වෙනවා. කැබිනට් ඇමතිවරුන්ට කොන්ද පණ නැහැ ඒවට එරෙහිව නැගී සිටින්න. එවැනි තත්වයක් තුළ තමයි පළාත් සභා මැතිවරණය පවත්වන්න යන්නේ.

ජනතා විමුක්ති පෙරමුණ පැහැදිළිව දකිනවා ඌව පළාත් සභාවේ ජනතාව මුහුණ දෙන ගැටලූ. ඉදිරියේදී හැදෙන සන්ධාන ආණ්ඩුවේ පළාත් සභාවකින් ඌව පළාත් ජනතාවගේ ගැටලූවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. එතරම් කාලයක් ප‍්‍රශ්න විසඳන්න බැරිවුණු ආණ්ඩුව දැන් එම පළාත්වල ජනතාවට බඩු බෙදන්න පටන් අරගෙන තිබෙනවා.

ආණ්ඩුවේ සල්ලි පාවිච්චි කරලා, අමාත්‍යාංශ බලතල පාවිච්චි කරලා ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් බඩු ගොඩගහලා තිබෙනවා. උදළු තල, පුටු වැනි දේවල් ජනතාවට බෙදන්න සූදානම් කරලා තිබෙනවා. බංකොළොත් වෙච්ච සන්ධාන කණ්ඩායම ඌව පළාත් ජනතාව නැවත වරක් රවටන්න උත්සාහ කරනවා. ආණ්ඩුවේ මෙම බංකොළොත්කම තේරුම් ගන්න කියලා ඌව පළාත් ජනතාවට කියනවා.

ජ.විපෙ. අපි පළාත් සභා මැතිවරණයට අවශ්‍ය සියලූ සංවිධාන කටයුතු මේ වනවිට ආරම්භ කරලා තිබෙනවා. ඌව පළාතේ කණ්ඩායම් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න සහෝදරයා නම්කරලා තිබෙනවා. ඔහු බදුල්ල දිස්ති‍්‍රක්කයටත් නායකත්වය දෙනවා.

මොනරාගල දිස්ති‍්‍රක්කයට නායකත්වය දෙන්නේ හිටපු පළාත් සභා මන්තී‍්‍ර ආර්. එම්. ජයවර්ධන සහෝදරයා. සමන්ත විද්‍යාරත්න සහෝදරයා කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධාරියෙක්. ප‍්‍රාදේශීය සභාවේත්, පළාත් සභාවේත් පාර්ලිමේන්තුවේත් වගකීම් දරපු අයෙක්.

ඒ වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්. ආර්.එම්. ජයවර්ධන සහෝදරයා ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරන උපාධිධාරියෙක්. ඔහු පළාත් සභාව තුළ වසර ගණනාවක් අත්දැකීම් තිබෙන කෙනෙක්. ඒවගේම බදුල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්තී‍්‍ර සුදත් බලගල්ල, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයා බදුල්ල දිස්ති‍්‍රක්කයට තරඟ වදිනවා.

ඒ වගේම අපි ඉදිරි කාලය තුළ අනෙක් අපේක්‍ෂකයින් තෝරාගනු ලබනවා. මේ වනවිටත් ටිල්වින් සිල්වා, විජිත හේරත්, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති යන අයගේ සහභාගිත්වයෙන් නාම යෝජනා කමිටුවක් නම්කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ නාමයෝජනා සකස්කර භාරදෙන්න සැලසුම් කර තිබෙනවා. මේ වනවිටත් අපි ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා.

නාමයෝජනා බාර දීමෙන් අනතුරුව මැතිවරණ කටයුතු තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා. බස්නාහිරින්, දකුණෙන් ලබාගත් ජයග‍්‍රහණ තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයා හැක්කේ යයි අප විශ්වාස කරනවා.

මේ රටේ සැබෑ විපක්‍ෂයේ කාර්යභාරය පළාත් සභාවෙත් පාර්ලිමේන්තුවෙත් ප‍්‍රාදේශීය සභාවෙත් වීදියෙත් මැනවින් ඔප්පු කර පෙන්වූ දේශපාලන පක්‍ෂය ජනතා විමුක්ති පෙරමුණයි. ඌව පළාත් සභාව තුළ ශක්තිමත් ජයග‍්‍රහණයක් ස්ථාපිත කළ හැකි යයි අප විශ්වාස කරනවා.

ඉතිහාසයේ සිටම සිංහල දේශපාලනඥයින් සිංහල ජාතිවාදය ඇවිස්සුවා. දෙමළ දේශපාලනඥයින් දෙමළ ජාතිවාදය ඇවිස්සුවා. ඒ වගේම මුස්ලිම් දේශපාලනඥයින් මුස්ලිම් ජාතිවාදය ඇවිස්සුවා. මේ ආකාරයෙන් ජාතිවාදය අවුස්සලා තමුන්ගේ ඡුන්ද ගොඩ වැඩිකරගන්න ශී‍්‍ර ලංකාවේ දේශපාලනයට අලූත් දෙයක් නොවෙයි.

එය සර්වජන ඡුන්ද බලය ලැබුණුදා සිට සිදුවුනු දෙයක්. එනිසාම තවමත් අපේ රට ජාතික නොසන්සුන්තාවයක තිබෙන්නේ. ජාතකත්ව අතර ගැටුම් වර්ධනය වෙන්නේ ඒ නිසා. මෙම ජාතිවාදයන් තුනම එකසේ වැරදිසහගතයි. තමන්ගේ ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමට ජාතිවාදය ඇවිස්සීම ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිනවා. මැතිවරණය සඳහා ජාතිවාදය යොදා නොගත යුතුයි.

මේ වනවිට රටේ ජනතාවට ආණ්ඩුව එපාවෙමින් තිබෙනවා. පළාත් සභාවත් ඊට දෙවැනි නැහැ. ඌව පළාත් සභාවේ ඇමතිවරු, මන්තී‍්‍රවරු ජනතාවට කරපු දෙයක් නැහැ. ජනතාව බලන් ඉන්නේ මේ ආණ්ඩුවට එරෙහිව තමන්ගේ ඡුන්දය පාවිච්චි කරන්න. බස්නාහිර, දකුණ මැතිවරණයේදී මේ ආණ්ඩුව විශාල වශයෙන් ඡුන්ද අහිමි කරගත්තා.

මන්තී‍්‍රධූර 12ක් අඩුවූ අතර ඡුන්ද 10%කින් පමණ පහළ වැටුණා. ඌව පළාත් සභාවේදීත් ආණ්ඩුව එම ඉරණමට මුහුණ දෙන බව සැකයක් නැහැ. දකුණෙන් බස්නාහිරින් ආණ්ඩුවට පෙන්වූ රතු එළිවල දීප්තිය ඌව ජනතාව වැඩි කරන බව ස්ථිරයි. ඌව වෙල්ලස්ස වීරෝධාර ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන ආරම්භය සනිටුහන් කරන මැතිවරණය ලෙස මෙම පළාත් සභාව යොදාගන්න බව අපට විශ්වාසයි.

පහුගිය කාලය තුළ අපේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වුණු පක්‍ෂයක් ලෙස ජනතාව අප කෙරෙහි විශ්වාසයක් තබා තිබෙනවා. පහුගිය බස්නාහිර, දකුණ මැතිවරණය අපේ ඡුන්ද තුන් ගුණයකින් පමණ ඉහළ ගියා. එනිසාම ඌව පළාත් සභා මැතිවරණයේදී එම ජයග‍්‍රහණය තව තවත් තහවුරු කරගත හැකි බව අපට විශ්වාසයක් තිබෙනවා. මොකද ඌව පළාත් ජනතාව මේ ආණ්ඩුවට එරෙහිව විකල්ප බලයක් ගොඩනැගීමට සූදානම්ව සිටින බව අපට දැනෙනවා.

අපේ රටේ එක්සත් ජාතික පක්‍ෂ, ශී‍්‍රලනිප සාම්ප‍්‍රදායික දේශපාලනයට එරෙහිව නව දේශපාලන ක‍්‍රමයක් අවශ්‍ය වෙලා තිබෙනවා. එනිසාම විකල්ප දේශපාලන පෙරමුණක අවශ්‍යතාවය දැනෙමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මූලික පියවරයන් අප තබා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහගේ පෙරමුණත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෙරමුණත් දෙකම නියෝජනය කරන්නේ මේ කුණුවෙලා තිබෙන ගඳ ගහන ධනපති ක‍්‍රමයයි. ඒ ක‍්‍රමයට අපේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න බැහැ.

ඒනිසා නව සමාජ ක‍්‍රමයක් අපේ රටේ ජනතාව ඉල්ලා සිටිනවා. එම අවශ්‍යතාවය ඉටුකරන්න නම් විකල්ප පෙරමුණක් අවශ්‍යයි. එම විකල්ප පෙරමුණ ගොඩනැගීමේ වගකීම තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි. ඒ සඳහා ශී‍්‍රලනිපයේ, එජාපයේ, මුස්ලිම් කොංග‍්‍රසයේ, දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලූ ජනතාවත් එක්ක පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ කටයුත්ත අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. එය මේ රටේ සමාජ පරිවර්තනයක් දක්වා ගෙනයාම අපේ අරමුණයි.