පී.බී ඉවත් නොකරන්නේ ආණ්ඩුවේ අමනකමටයි

පී.බී ඉවත් නොකරන්නේ ආණ්ඩුවේ අමනකමටයි

May 13, 2014   10:14 am

රටේ ආර්ථිකය හසුරුවනු ලබන්නේ දෙතුන් දෙනෙකුගෙන් යුතු කල්ලියක් විසින් බව නිවාස,ඉදිකිරීම්,ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර යනු චන්ද්‍රිකා ආණ්ඩු සමයේ රාජ්‍ය ආයතන විකුණා දැමීමට ක්‍රියා කළ පුද්ගලයෙකු බවත්, අද හිරේ සිටිය යුතු පුද්ගලයෙකු බවත් අමාත්‍යවරයා කියා සිටියේ දෙරණ 360 වැඩසටහනට සහභාගීවෙමිනි.

ජනාධිපතිවරයා සතු විධායක බලය ජනාධිපති සහ ඔහු විසින් බලය පවරන කැබිනට් අමාත්‍යවරුන්ට හිමිවුවත්, මේවන විට එකී බලය අනිසි ලෙස පී.බී ජයසුන්දර මහතා විසින්ද භාවිතා කරන බව හෙතෙම සඳහන් කළේය.

රටට ණය ගෙනත් ගොඩගැහුවාම ඒවායේ ප්‍රතිශතයක් පවුල් කිහිපයක් අතරට යන බවත්, රටේ ඒක පුද්ගල මැනිය යුත්තේ එවැනි මැජික් ක්‍රමයකින් නොව රටේ සාමාන්‍ය ජනතාවට ආර්ථික ප්‍රතිලාභ හිමිවන පරිද්දෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පී.බී වෙනුවට රටට ආදරය කරන ආර්ථික විශේෂඥයෙකු අදාළ තනතුරට පත් නොකිරීම මෙම ආණ්ඩුවේ අමනකම, තකතීරුකම මිසක් අන් යමක් නොවන බව ඔහු අවධාරණය කළේය.

එස්.බී දිසානායක වැනි අමාත්‍යවරුන් පී.බීගේ ගුණ වාර්ණනා කරන නිසා ඔහු විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවලට වහා මුදල් අනුමත වන බවත්,තමා වැනි පී.බීව විවේචනය කරන අයට එලෙස මුදල් හිමි නොවන බවත් ඔහු කියා සිටියේය.

පී.බි ජයසුන්දර මහතාට ආණ්ඩුව බිය වී ඇති බවත්, තීන්දු තීරණ ගන්නා උදවිය බියවී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.