එ.ජා.ප. නියෝජිතයින් පිරිසකට මත්තලදී මැර ප්‍රහාරයක්

එ.ජා.ප. නියෝජිතයින් පිරිසකට මත්තලදී මැර ප්‍රහාරයක්

April 17, 2014   04:27 pm

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා ගොස් සිටි එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායමට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම පිරිස ගමන් කරමින් සිටි බස් රථයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති බවත් අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

මේ පිළිබඳව අද දෙරණ කළ විමසීමකදී මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වී සිටි එ.ජා‍.ප. මන්ත්‍රී ආර්. යෝගරාජන් මහතා පවසා සිටියේ මැර ප්‍රහාරයක් සේම තමන් ඇතුළු පිරිසට මත්තල ගුවන් තොටුපොළ පරීශ්‍රය තුළදී යම්කිසි පිරිසක් විසින් හූ සංග්‍රහයක්ද කළ බවයි.

එසේම එම පිරිස් විසින් තමන් ඇතුළු පිරිසට තර්ජනය කළ බවත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියේ උසස් නිලධාරියෙකු දැනුවත් කිරීමක් කළද එමගින් කිසිඳු සහනයක් නොලැබුණු බවත් ඒ මහතා අද දෙරණට කියා සිටියේය.

අදාළ සිද්ධියෙන් පසු තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හම්බන්තොට ජාත්‍යන්තර වරාය නීරීක්ෂණය කිරීම සඳහා බස් රථයකින් ගමන් කළ අතර හම්බන්තොට වරාය පරීශ්‍රය තුළ ඒ වන විටත් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් කාවින්ද ප්‍රනාන්දු මහතා ගිනි අවියක්ද මානාගෙන සිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හම්බන්තොට නගරාධිපතිවරයා ගිනි අවිය මානා තර්ජනය කරමින් සිටියදී ඒ අසළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකුද නිහඬව සිටි බවත්, යෝගරාජන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ආර්. යෝගරාජන්, අජිත් මානප්පෙරුම, නලින් බණ්ඩාර, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා යන අය එක්ව සිටියහ.