මීගමුවේ කොල්ලයට සැකපිට එජාප අපේක්ෂකයෙක් දැලේ

මීගමුවේ කොල්ලයට සැකපිට එජාප අපේක්ෂකයෙක් දැලේ

February 22, 2014   12:14 pm

මීගමුවේ ඉකුත් 17 වැනිදා සිදුවූ මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, මහවීදීයේ පිහිටි ස්වර්ණාභරණ හා විදේශ මුදල් හුවමාරු වෙළඳසැලකට ඉකුත් (17) පස්වරුවේ ආයුධ සන්නද්ධව කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනා දේශීය සහ විදේශීය මුදල් කොල්ල කා පළාගොස් තිබුණි.

මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා එහි සිටි සේවකයන් සහ ගනුදෙනුකරුවන් ගිනි අවි පෙන්වා බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබිණ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී ඊයේ දිනයේ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

ඒ අනුව අනාවරණය වු තොරතුරු මත මුදල් කොල්ලය සැලසුම් කළ බවට සැකපිට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී කොල්ලකන ලද මුදල් වලින් රුපියල් එක්ලක්ෂ 85,000 ක මුදලක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීගමුව නගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ද වේ.