ඉන්දීය අගමැති ආයුතු බව බ්‍රිතාන්‍ය කියයි -  ඔහු නොඑනු ඇතැයි ඉන්දීය මාධ්‍ය කියයි

ඉන්දීය අගමැති ආයුතු බව බ්‍රිතාන්‍ය කියයි - ඔහු නොඑනු ඇතැයි ඉන්දීය මාධ්‍ය කියයි

November 9, 2013   08:11 am

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි විය යුතු බව බ්‍රිතාන්‍ය පවසයි.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් බෙවන් මහතා පවසන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවේ දී ඉන්දියාවට ප්‍රබල කාර්ය භාරයක් පවතින බවයි.

බ්‍රිතාන්‍යට ද එම සමුළුව සඳහා ඉන්දියාව සහභාගි වීම වැදගත් බව ඔහු පවසයි.

සී.එන්.එන්.අයි.බී.එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ජාවකට සහභාගි වෙමින් ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

එහි දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම සමුළුවට සහභාගි වී ප්‍රථමයෙන් ඊට සහයෝගය පළ කළ යුතු බවයි.

අනතුරුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබද සැලකිලිමත් විය යුතු බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් බෙවන් මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිය සංචාරය අතරතුර දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය යොමුකරනු ඇති බව හෙතෙම එහි දී ප්‍රකාශ කර තිබේ.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා මෙතෙක් නිෂ්චිත තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

කොංග්‍රස් පක්ෂ නායකත්වය ඇතුළු පිරිසක් සමඟ ඊයේ පැවති සාකච්ජාවේ දී පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී ඇති බව සඳහන්ය.

ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගි නොවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.