විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සැකපිට මොරටුව උප නගරාධිපති අත්අඩංගුවට

විහාරාධිපති හිමියන්ගේ ඝාතනයට සැකපිට මොරටුව උප නගරාධිපති අත්අඩංගුවට

February 4, 2013   08:47 pm

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (04) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය පවසයි

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමයේ විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන් ඊයේ (03) රාත‍්‍රී 9.30 ට පමණ විහාරස්ථානයේ බෝ මළුව අසළ දී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් නිසා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත්විය.

අපවත් වන විට උන්වහන්සේ 46 වැනි වියේ පසුවූ අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසිය සැක කරයි.

ස්වාමින් වහන්සේගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු බණ්ඩාරගම, දැල්කඩ පුදේශයේ තිබී සොයාගන්නා ලදී.

ඔවුන් වෙඩි තබා ඝාතනය කර තිබු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.