ත්‍රීකුණාමලයට සිංහල ඇමතිවරයෙක් ඕනෑ

September 23, 2012   10:29 pm

නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමේදී ජනාධිපතිවරයා ඇතුළු රජය ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයට අමාත්‍යධුරයක් ලබාදී ජනතාවට සාධාරණය ඉෂ්ඨ කළ යුතු බව තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අති පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස හිමියන් පවසති.

නැගෙනහිර ජනතා එකමුතුව විසින් අද (23) පෙරවරුවේ ත්‍රීකුණාමලයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පවසන ලදී.

එහිදී දෙහිඕවිට පියතිස්ස හිමියන් මෙසේ ද පැවසූහ.

“දැන් මේ වෙන කොට ප්‍රධාන අමාත්‍යධුරය පිරිනමලා අවසන්. අමාත්‍යධුර දෙකකුත් පිරිනමලා අවසාන බව ආරංචි ලැබිලා තියෙනවා. තවත් අමාත්‍යධූර දෙකක් ලබා දීමට තිබෙනවා. එම නිසා අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ වෙලාවේ කල්පනා කල යුතුයි, ත්‍රීකුණාමලයට සිංහල නියෝජනයක් සහිත අමාත්‍යධුරයක් ලබා දිය යුතුය කියලා. එහෙම වුණොත් ඒක සාධාරණයක් ඉෂ්ඨ වුණා කියලා හිතන්න පුළුවන්. එම සාධාරණය ඉෂ්ඨ කරන්න නම් වැඩිම මනාප ගත්ත අත්දැකීම් බහුල ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කය නියෝජනය කරන කෙනෙකුට අමාත්‍යධුරයක් ලැබෙන්න ඕනේ.”

“අපි දන්නවා පසුගිය පළාත් සභාවේදිත් අමාත්‍යධුර හිමිවුණේ අම්පාරට හා මඩකළපුවට. එම තත්ත්වය මෙවරත් ඇති වෙමින් පවතින බවක් තමයි පෙනෙන්නේ. මේ වන විට ප්‍රධාන අමාත්‍ය තනතුර ලබාදීලා තියෙන්නේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ මනාප ලැයිස්තුවේ තුන්වැනියට. ඒ ඔහු මුස්ලිම් ජාතිකයෙක් නිසයි. හැබැයි ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ වැඩිම මනාප ගත්ත ආරියවතී ගලප්පත්ති මහත්මියට කිසිම තනතුරක් ලබාදෙන බවක් කිය වෙන්නේ නැහැ. ඒ එතුමිය සිංහල නිසාද? අපි දන්නවා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් අප සමාජයේ පුළුල් කතිකාවක් තිබෙනවා. ඒ අනුව බැලුවමත් එතුමියට තනතුරක් ලබාදීම ඉතාමත් සුදුසුයි.”

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායිකා රංජනී සේනසිංහ මහත්මිය දැක්වු අදහස්.

“මේ දිස්ත්‍රීක්කයේ ජනතාව නිහඬව දීලා තිබෙන මෙම පණිවිඩය සුළු කොට තැකිය නොහැකියි. මේ පණිවිඩය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්. මොකද අපි ජනතාවගේ පණිවිඩ නොසලකා හැරීම තමයි විවිධ ප්‍රශ්නවලට අරගලවලට හේතුව වන්නේ. එහෙම නම් ඇයි, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ජනතාව මේ වතාවේ මේ පණිවිඩය අපිට ලබා දුන්නේ. ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමා ජනමතයට හිස නමලා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරයි කියලා.”

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක දයානන්ද ජයවීර මහතා දැක්වු අදහස්.

“2008 පිහිටවපු පළාත් සභාවේ සම්පුර්ණ බලතල ලැබුණේ, අම්පාරට හා මඩකළපුවට. ත්‍රීකුණාමලයට ලැබුණේ සභාපතිකම පමණයි. ඒ වෙනුවෙන් අපි මෙවර වන්දි ඉල්නවා. ඒ අමනාපයෙන් හෝ වෙනත් අදහසකින් නෙවෙයි. ජනතාවගේ සිතුම් පැතුම් ජයග්‍රහණය කරවීමේ අරමුණින්. බොහෝ අවස්ථාවලදී ත්‍රීකුණාමලයට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිලි බව අමුතුවෙන් කිවයුතු නැහැ. බොහෝ විට මේ තනතුරු බෙදී යන්නේ, ජාතිකත්වය පදනම් කරගෙන බව ඉතාමත් පැහැදිලියි. එහිදී අසාධාරණය සිද්ධ වෙන්නේ වැඩිම මනාප ගත්ත අත්දැකීම් තිබෙන කෙනෙකුට නම් ඒක ඔහුට නෙවෙයි ජනතාවට කරන අසාධාරණයක් බව අප මතක් කල යුතුයි” යනුවෙන් කියා සිටියේය.