ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
May 6, 2026 10:25 pm
රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාව වන CNN ආයතනය පිහිටවූ ප්‍රකට මාධ්‍ය ව්‍යවසායක සහ සමාජ සේවක ටෙඩ් ටර්නර් (Ted Turner) අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 87 වන වියේ පසුවිය.
ඔහායෝ ප්‍රාන්තයේ උපත ලබා පසුව ඇට්ලන්ටා නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර දියත් කළ ටර්නර්, සිය ප්රකාශනශීලී ස්වභාවය නිසා "The Mouth of the South" යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වා තිබේ.
1980 ජූනි 1 වනදා ඔහු විසින් CNN නාලිකාව ආරම්භ කරන විට බොහෝ දෙනා එය අසාර්ථක වනු ඇතැයි අනාවැකි පළ කර ඇත.
එහෙත්, 1991 ගල්ෆ් යුද්ධය සජීවීව විකාශය කිරීමත් සමඟ ලොව පුරා පුවත් කලාවේ නොමැකෙන සලකුණක් තැබීමට ඔහු සමත් විය.
CNN නාලිකාවට අමතරව TNT, TCM සහ Cartoon Network වැනි ලොව ජනප්‍රිය නාලිකා රැසක් ද ඔහු විසින් ආරම්භ කරන ලදී.
ටෙඩ් ටර්නර් යනු හුදෙක් ව්‍යාපාරිකයෙකු පමණක් නොවීය. ඔහු එක්සත් ජාතීන්ගේ පදනම පිහිටුවමින් එම සංවිධානයට ඩොලර් බිලියනයක මුදලක් පරිත්‍යාග කළ අයෙකි. එසේම, වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටි අමෙරිකානු බයිසන් ගවයන් නැවත බෝ කිරීම සඳහා ඔහු සුවිශාල මෙහෙවරක් කළ අතර, ළමයින් පරිසරයට ලැදි කිරීමට "Captain Planet" වැනි කාටූන් මාලාවන් ද නිර්මාණය කළේය.
ටර්නර්ගේ පෞද්ගලික ජීවිතය ජයග්‍රහණ මෙන්ම ඛේදවාචකවලින් ද පිරී තිබුණි. වයස අවුරුදු 24 දී සිය පියාගේ අභාවයෙන් පසු පවුලේ ව්‍යාපාර භාරගත් ඔහු, පසුව ලොව බලවත්ම මාධ්‍ය දැවැන්තයෙකු බවට පත්විය. ඔහු සුප්‍රකට නිළි ජේන් ෆොන්ඩා (Jane Fonda) සමඟ ද විවාහ වී සිටියේය.
2018 වසරේදී තමන් 'Lewy body dementia' නම් රෝගයකින් පෙළෙන බව ඔහු හෙළි කළේය.
සිය ජීවිතයේ අවසාන කාලය අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු, දරුවන් පස් දෙනෙකු ඇතුළු මුනුබුරන් මිනිපිරියන් රැසක් ඉතිරි කරමින් සමුගත්තේය.
