උගත් පාඩම් දැනටමත් ක්‍රියාත්මකයි-ඒත් ජාත්‍යන්තර සහය ඕනෑ

February 27, 2012   09:14 pm

උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතු බවට ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

එකී නිර්දේශ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දැනටමත් ක්‍රියාවට නංවමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේ අද ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සමුළුව ආමන්ත්‍රණය කරමිනි.

ඒ අනුව දැනටමත් ශ්‍රී ලංකාව ගනිමින් සිටින ක්‍රියාමාර්ග සඳහා ජාත්‍යන්තර සහය අවශ්‍යය වන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

කොමිසමේ නිර්දේශවලට අනුව එල්.ටී.ටී.ඊ කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීම,බිම් බෝම්බ ඉවත්කිරීම,සැකකරුවන් රඳවා ගැනීම,ඉඩම් ප්‍රශ්න විසඳීම,ශ්‍රී ලංකාවේ ජන වර්ගයන් අතර භාෂාමය හා ජාතික ඒකාග්‍රතාව වර්ධනය කිරීම සඳහා පියවර ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

රටේ ප්‍රතිසන්ධානය සඳහා වන ක්‍රියා මාර්ග සම්පූර්ණ කිරීමේ දිශාවකට ගමන් කරමින් පැවතීම හා එහි ප්‍රගතිය සියැසින් දැක බලා ගන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මියට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම 2005 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටින බවද සමරසිංහ මහතා අවධාරණය කළේය.