පාකිස්තාන මාධ්‍ය වාර්තා ඉන්දියාව තරයේ ප්‍රතික්ෂේප කරයි
December 2, 2025 09:10 am
ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යාම සඳහා සිය ගුවන් කලාපය හරහා ගමන් කිරීමට අවසර ඉල්ලුවද ඉන්දියාව ඒ සඳහා අවසර ලබා නොදුන් බවට පාකිස්තාන මාධ්‍යයන් විසින් පළ කර ඇති වාර්තා පදනම් විරහිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දීය ආරක්ෂක නිලධාරින් විසින් පවසා ඇත්තේ මාස ගණනාවක් දෙරටේ ගුවන් කලාප වසා තිබූ නමුත් පාකිස්තානයේ ඉල්ලීම සලකා බලා කඩිනමින් අදාළ අවසරය ලබාදීමට කටයුතු කළ බවය.
ඔවුන් පවසා ඇත්තේ "පදනම් විරහිත සහ නොමඟ යවන" ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවය.
පාකිස්තානයේ ඉල්ලීම මත පැය 4ක වැනි කෙටි කාලයක් ඇතුළත සඳුදා (01) දින සවස 17.30 ට (IST)වනවිට නිල වශයෙන් අවසර ලබාදී පාකිස්තාන රජයට ද එය නිල වශයෙන් දැනුම් දුන් බවත් ඉන්දීය මාධ්‍යවල වාර්තා වෙයි.
දෙරටේ ගුවන් කලාප දෙරටට වසා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දීය පෙහෙල්ගාම් වෙත එල්ලවූ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව දෙරට අතර හටගත් මතගැටුම් සමඟය.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව වෙත ආධාර රැගෙන පැමිණෙන පාකිස්තාන ගුවන්යානා වෙත ඉන්දීය ගුවන් කලාපය විවෘත කිරීමට තීරණය කිරීම ඉන්දීය ගත් ඓතිහාසික තීන්දුවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අතර සිය නිල X ගිණුමේ සිංහල භාෂාවෙන් සටහනක් තැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දිට්වා සුළිකුණාටුවේ බලපෑමට ලක්වූ ලාංකිකයන් වෙනුවෙන් ඉන්දියාව දැනට ක්‍රියාත්මක සාගර් බන්ධු මෙහෙයුම යටතේ සහන සැලසීමේ සහ මුදවාගැනීමේ ප්‍රයත්නයන් සඳහා අවශ්‍ය සියලු සහයෝගය තවදුරටත් අඛණ්ඩව ලබාදෙන බවට පවසා තිබුණි.
