ලූව් කෞතුකාගාරයේ සොරකම සිදු කළ හැටි හෙළිවෙයි

ලූව් කෞතුකාගාරයේ සොරකම සිදු කළ හැටි හෙළිවෙයි

October 19, 2025   07:30 pm

ලොව විශාලතම කෞතුකාගාරය මෙන්ම ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ 35,000කට අධික ප්‍රමාණයකට නිවහන වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝකප්‍රකට ලූව් කෞතුකාගාරයේ අද (19) මංකොල්ලයක් සිදු විය.

ඒ මහජන ප්‍රදර්ශනය සඳහා අද උදෑසන එම කෞතුකාගාරය විවෘත කිරීමෙන් සුළු වේලාවකට පසුවය.

ට්‍රක් රථයක සවිකළ ස්වයංක්‍රීය ඉණි මගක ආධාරයෙන් යම් උපකරණ ද සහිතව ගොඩනැගිල්ලේ පළමු මහලේ සඳළුතලයට ළඟා වී ඇති තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එහි ජනේලයක් කඩා ගොඩනැගිල්ල තුළට ඇතුළු වී මෙම සොරකම සිදු කර ඇති බව වාර්තා වේ.

ඔවුන් විනාඩි 4ත් 7ත් ඇතුළත මෙම මංකොල්ලය සිදුකර පසුව ස්කූටර් වර්ගයේ යතුරුපැදිවලින් පලා ගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අදාළ පිරිස මුහුණු ආවරණය කරගෙන සිට ඇති බවය.

කෙසේවෙතත් ඔවුන් කෞතුකාගාරයේ ඇපලෝ ගැලරියේ තැන්පත් කර තිබූ මිල කළ නොහැකි කෞතුක ආභරණ නවයක් රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

වසර 232ක් පැරණි මෙම කෞතුකාගාරය 1793 වසරේ දී විවෘත කර තිබේ.

ලූව් කෞතුකාගාරය නැරඹීම සඳහා පසුගිය වසරේ පමණක් මිලියන 8.7ක පිරිසක් පැමිණ ඇති අතර, එය එම වසරේ ලොව වැඩිම සංඛ්‍යාවක් නරඹනු ලැබූ කෞතුකාගාරය ද වේ.