ඉතිහාසය අලුත් කරමින් කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට
October 10, 2025 06:35 pm
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (10) දිනයේ දී නැවත වරක් සිය ඉහළම අගයේ වාර්තාව අලුත් කරමින්, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,318.72ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.98ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.65% ක් වැඩිවීමක් වේ.
මේ අතර S&P SL20 දර්ශකය ද මේ දක්වා ඉතිහාසයේ ඉහළම අගය අද දින වාර්තා කිරීමට සමත්වූයේ දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,226.03ක් දක්වා ඒකක 63.65ක වර්ධනයක් සනිටුහන් කරමිනි.
රු. බිලියන 8.45ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 8.30ක් හා දේශීය විකිණුම් රු. බිලියන 8.21ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 150ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 248ක් ලෙසින් සටහන් විය.