නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

September 9, 2025   10:33 pm

අද (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නේපාල හමුදාව සඳහන් කරයි.

නේපාල හමුදාව නිකුත්කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ, අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බවය.

මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක්ව විරෝධතාකරුවන් විසින් පුළුස්සා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ,  හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන Rajyalaxmi Chitrakar ය. 

ඇයව විරෝධතාකරුවන් විසින් නිවසේ සිර කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වෙයි. 

මෙම සිදුවීම සිදුව ඇත්තේ කත්මණ්ඩු අගනුවරදීය. 

පසුව හිටපු අගමැති බිරිඳ වන Chitrakar මහත්මියව කීර්තිපූර් බර්න් රෝහලට වහාම ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර අතරතුර මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.

අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන තිබුණි.

කෙසේ නමුත් ඒ කිසිත් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට එරෙහිව දැඩි විරෝධයක් පළකරමින්ය.

මේ වන විටි ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.