අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දුගෙන් රිට් පෙත්සමක්
March 10, 2025 11:49 am
2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 12 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය නීතියට පටහැනි බව සඳහන් කළේය.
අදාළ සිද්ධියෙන් පසුව පොලිස් නිලධාරියකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි කිහිපයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බවත් එය බලශූන්‍ය නියෝගයක් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළේය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයාගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ, මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් කිසිවක් ලැබී නොමැති බවය.
මෙහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ අත්‍යාසන්න තත්ත්වයක් මතුවී තිබෙන හෙයින් එය වැළැක්වීම සඳහා කෙටි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස යළි ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ "අද පෙරවරුවේ තමයි මේ නඩුකරයට අදාළ නඩුගොනුව මගේ අතට පත් වූණේ. මේ පෙත්සම තුළ අන්තර්ගත කරුණු මොනවාද කියලවත් මම තාම දන්නෙ නෑ. ඒ නිසා වගඋත්තරකරුවන්ට නොතිසි ලබා දීමෙන් පසුව මේ පෙත්සම කරුණු තහවුරු කිරීම සුදුසුයි කියලා මම හිතනවා" යනුවෙන් වැඩබලන සභාපති විනිසුරුවරයා කියා සිටියේය.
යළි අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, "ස්වාමීනී...අඩුම ගානේ මගේ සේවාදයකයා අත්අඩංගුවට නොගන්නා බවට වගඋත්තරකාර පාර්ශවය විසින් පොරොන්දුවක්වත් ලබා දිය යුතුයි."යනුවෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු වරයා "පෙත්සම්කරු සතියක් විතර කරදරයක් නැතුව හිටියනේ. ඉදිරියටත් එසේ හිඳීවි" යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, එහි වත්මන් අධ්‍යක්ෂ පී. අම්පාවිල ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටින්නේ, වැලිගම පොලිසිය විසින් සිදුකළ මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන තිබෙන බවත් ඊට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ බලපෑම් සහිතව සිදුවන බවයි.
එම නිසා අදාළ පරීක්ෂණය දේශපාලන බලපෑම් සහිත පක්ෂපාතී මෙන්ම ද්වේශ සහගත ආකාරයෙන් තමා ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන පරීක්ෂණයක් බවත් ඔහු සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශයක් වත් සටහන් කර ගැනීමට පෙර අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට පටහැනි වන අතර ඉන් අනතුරුව තමන්ගේ විදේශ ගමන් තහනම් කරමින් ඉකුත් 01 වනදා නියෝගයක් නිකුත් කර තිබෙන බව ජනමාධ්‍ය ඔස්සේ දැන ගත් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෙත්සමෙන් කියා සිටී.
ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම නියෝගය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඊට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර යන අයගේ මැදිහත්වීමෙන් අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සිදුකිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අභියාචනාදීකරණයෙන් ඉල්ලා තිබේ.
2023 වසරේ දෙසැම්බර් මස 31 වනදා මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවු අතර එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිසරයෙන්වරයකු මරණයට පත්වී තිබුණි.
මීට අදාළව පැවැත් වූ සාක්ෂි විභාගයෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබුණි.