ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි

ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි

December 24, 2024   10:54 am

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

1944 ඔක්තෝබර් 27 වන දින ජේමිස් අප්පුහාමිට හා ඒ.එම්.පොඩි මැණිකේට දාව උපන් ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ  හතර දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පුත්‍රයායි.

මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රජයේ 'හේවුඩ්' සංගීත විද්‍යාලයෙන් සංගීතතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේය.

පසු කලෙක ගුරු වෘත්තියට පිවිසි ඒ මහතා අවුරුදු 12ක ගුරු ජීවිතයට සමුදී 1985 වසරේදී සංගීතවේදියෙකු ලෙසින් කටයුතු කළේය.

ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් "සරතැස නිවා" ගීතය ඔහුගේ මුල්ම ගීතය ද වේ.

එමෙන්ම ඔහු "කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා.." "අඳුර අඳුර මගේ.." කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රාශියක් ගයා ඇත.

චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස හරියනකොට ඔහොම තමයි චිත්‍රපටය හරහා සිනමා ගී ගායනයට පිවිසි ඔහු මල් කැකුළු, සිකුරු දසාව ආදි චිත්‍රපට සඳහා ගීත ගායනයෙන් දායක විය.

එසේම ඔහු විසින් ගායනා කරන ලද ආදරණීය නේරංජනා, සුදු පරෙවි රෑන සේ, මගේ ළැමද සුව යහනක්, ඈත රන් විමන් දොරින්, ඇසුරින් මිදිලා ආදී ගීත මෙරට රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.