සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි

සුජීව සේනසිංහ V8 රථය CIDයට භාරදෙයි

November 11, 2024   07:49 pm

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතා සතුව තිබූ ප්‍රශ්නගත V8 රථය අද (11) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව වාර්තා වෙයි.

එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදුකිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථය බවයි.

නීතිවිරෝධීව එකලස් කරන ලද ටොයෝටා V8 සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ඉකුත් නොවැම්බර් 02 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවස පරික්ෂා කළද එහිදී සැකකටයුතු මෝටර් රථය හමුවී තිබුණේ නැත.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටියේ නිවසක් පරීක්ෂා කළේ ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය එම නිවසේ ගාල්කර ඇති බවට තොරතුරු ලැබී තිබු තොරතුරු අනුව ය.

එහිදී සොයාගැනුණු ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

එම නියෝගය ප්‍රකාරව ප්‍රශ්නගත මෝටර් රථය සුජීව සේනසිංහ මහතා විසින්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් මගින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේය.

"ස්වාමිනි, මේ ප්‍රශ්නගත ජීප් රථය 2010 වසරේ මෙරටට ගෙන්වා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජේ ශ්‍රී රංගා මහතාට ලද තීරු බදු රහිත වාහන බලපත්‍රයෙන්. ඒ අනුව ස්වාමිනි මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීමෙන් තොරව මාස කිහිපයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා භාවිත කර තිබෙනවා. එසේ භාවිත කරන අතරතුර තමයි ස්වාමීනි 2011 මාර්තු 30 වනදා මැදවච්චිය සෙට්ටිකුලම ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර එම අනතුරින් තිදරු පියෙකු වූ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණේ. මෙවන් පසුබිමක මෙම ප්‍රශ්නගත සුඛෝපභෝගී ජීප් රථය 2022 වසරේදී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නමින් ලියාපදිංචි කර තිබෙනවා. පසුව මෙම ප්‍රශ්නගත ජීප් රථය කැලණිය ප්‍රදේශයේ වාහන එකලස් කිරීමේ ස්ථානයකට යොමුකර කොටස් කිහිපයක් එකලස් කිරීම සිදුකර තිබෙනවා". 

"එබැවින් ස්වාමිනි පුද්ගල මරණයක් සිදුකළ මෝටර් රථයක් මෙලෙස නීතිවිරෝධීව එකලස් කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කළ යුතුයි. මොකද ස්වාමිනී මේක රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන්න තවමත් විභාග වෙමින් පවතින නඩුවක නඩු භාණ්ඩයක්. එය සැඟවීමේ හෝ විනාශ කිරීමේ අවදානමක් පවතිනවා. එම නිසා අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙම ප්‍රශ්න සහගත සුඛෝපභෝගී මෝටර් රථය අධිකරණය භාරයට පත්කරන ලෙස එහි වත්මන් හිමිකරුට නියෝග කරන්න කියලා "

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළාය.