ජොන්ස්ටන්ට ඇප
October 30, 2024 12:01 pm
එංගලන්තයේදී සොරකම් කර මෙරටදී එකලස් කරන ලද මෝටර් රථයක් නීති විරෝධිව සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදාහැරි හිටපු අමාත්‍යවරයාට මහෙස්ත්‍රාත්වරිය අවධාරණය කළේ, විමර්ශනවලට බලපෑම් කිරීමෙන් වළකින ලෙසය.
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මුල්වරට පරීක්ෂා කළේ, ඔක්තෝබර් 04 වනදාය.
අනතුරුව අදාළ මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව විමර්ශනයේදී අනාවරණය වී තිබු අතර නීතිවිරෝධිව එකලස් කරන ලද ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් ඔස්සේ ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඉකුත් 23 වනදා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදී ඔහු අත්අඩංගුවට ගැනුණි.
අනතුරුව අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයා එදිනම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද පෙරවරුවේ යළි කැඳවූ අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් කියාසිටියේ ප්‍රශ්නගත BMW මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස තමන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බවය.
එමෙන්ම අදාළ මෝටර් රථය මෙරටට ගෙන ආ ක්‍රමවේදය සහ රේගුවෙන් නිශ්කාසන කටයුතු කළ ආකාරය පිළිබඳ දැනට නිගමනයක් ඉදිරිපත් කළ නොහැකි බවද එම නිලධාරින් මහෙස්ත්‍රාත්වරියට දැනුම් දුනි.
කෙසේවෙතත් බැලූ බැල්මට මෙය සංවිධානාත්මකව නිත්‍යානුකූල නොවන ක්‍රමවේදයකට සිදුකළ අපරාධයක් බව පෙනී යන බැවින් මුදල් විශුද්ධිකරණය ඔස්සේ වැඩිදුර විමර්ශන කළ යුතු බවත් එතෙක් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් විමර්ශන නිලධාරින් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
අනතුරුව සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෙසේ ඇප අයැදුමක් ඉදිරිපත් කෙළේය.
"ස්වාමිනි මාගේ සේවාදායකයාට එරෙහිව මේ අවස්ථාවේ පවතින්නේ මෝටර් වාහන පනත යටතට ගැනෙන වැරදි 2ක් පමණයි. මොකද අදාළ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද්දක් බව විමර්ශන නිලධාරින් කිව්වාට ඒ සොරකමට මගේ සේවාදායකයා සම්බන්ධ බව කියන්න කිසිඳු සාක්ෂියක් නැහැ. කෝකටත් තෛලය කියලායි මුදල් විශුද්ධිකරණ පනත ගෙනල්ලා තියෙන්නේ. වෙනත් පුද්ගලයෙකුට මෝටර් වාහන පනත යටතේ මේ තියෙන චෝදනා 2ක ගොනුකළා නම්, මේ වෙද්දි දඩය ගෙවලා එළියටත් ගිහිල්ලා. මේක පැහැදිලිව දේශපාලන පළිගැනීමක්. එකම වරදට සාමාන්‍ය පුද්ගලයෙකුට බෙදෙන හැන්දෙන් නොවෙයි මගේ සේවාදායකයාට බෙදලා තියෙන්නේ. සිස්ටම් චේන්ජ් කියන්නේ දේශපාලන පළිගැනීම්වලට අල්ලගෙන ඇවිල්ලා නඩුදාන එකට නොවෙයි. මොහු ඉදිරි මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස ඉදිරිපත් වන අපේක්ෂකයෙක්. මොහුගේ මැතිවරණ ව්‍යපාරය වැළැක්වීමටයි මේ විමර්ශනය සිදුකෙරෙන්නේ. එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ මාගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා."
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට නියෝග කළේ දැඩි ඇප කොන්දේසි යටතේය.
ඒ අනුව සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් තැන්පත් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය විමර්ශනවලට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද අවධාරණය කළාය.
මෙම නඩුවට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මකය.