හොරණ ට මිලිමීටර් 239ක වර්ෂාපතනයක්

හොරණ ට මිලිමීටර් 239ක වර්ෂාපතනයක්

October 11, 2024   09:23 am

අද (11) පෙරවරු 6:00න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එය මිලිමීටර් 239ක වර්ෂාපතනයක් බවය.

ඇල්පිටියෙන් මිලිමීටර් 194.75ක්, බුලත්සිංහල මිලිමීටර් 187ක්, මතුගම මිලිමීටර් 186.5 සහ සීතාවක ප්‍රදේශයේ මිලිමීටර් 184.5ක වර්ෂාපතනයක් වාර්තාවී තිබේ.

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද (11) අලුයම 5:30 නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකිය.

මේ වනවිට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවය.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටියි.

එම නිවේදනය අනුව අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මේ මොහොතේ සිට ඉදිරි පැය 48ක් දක්වා වූ කාලය තුළ ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදනමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.