ක්ලබ් වසන්තගේ ඝාතකයින්ට උදව්කළ හිටපු පළාත් සභා මන්ත්‍රී

ක්ලබ් වසන්තගේ ඝාතකයින්ට උදව්කළ හිටපු පළාත් සභා මන්ත්‍රී

August 29, 2024   12:49 pm

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (29) උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ය.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ල්බ් වසන්ත පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේ ඊයේ (28) රාත්‍රියේදීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි 29 සහ 32 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් 'පොඩි බලයා' නැමැත්තා බව පොලීසිය පවසයි.

රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ, මධුශංක ද සිල්වා නොහොත් 'බහිරවයා' නැමැත්තෙකි.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ රැඳී සිටියදීය.

පොලීසිය පැවසුවේ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

සැකකරුවන් මේ වනවිට අතුරුගිරිය පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරයි.

ක්ලබ් වසන්ත ඝාතනයේ සෙසු වෙඩික්කරුද ඉකුත් 23වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.