පාතාලේ දෙමස්සිනාලා එක්ව කළ අපරාධ සියල්ල හෙළිවෙයි

පාතාලේ දෙමස්සිනාලා එක්ව කළ අපරාධ සියල්ල හෙළිවෙයි

May 31, 2024   08:18 pm

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ඩුබායිහි සිට අද (31) දිවයිනට රැගෙන එනු ලැබීය‍.

ඒ අලුයම 05.45ට පමණය.

ඔහු රැගෙන එනු ලැබුවේ ඒ සඳහා ඩුබායි රාජ්‍ය බලා ඊයේ (30) පිටත්ව ගිය ත්‍රස්ත මර්දන කොට්ඨාස නිලධාරී කණ්ඩායමක් විසිනි.

කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය තුළ සැකකරු කෙටි වේලාවක් රඳවාගෙන මූලික ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

අනතුරුව ඔහු කොළඹ ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත රැගෙන ආ අතර මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

මිදිගම රුවන් මීට මසකට පමණ ඉහතදී ඩුබායීහී රාත්‍රී සාමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර තිබියදීය.

සැකකරු 2022 වසරේ අගෝස්තු 4 වනදා ගල්කිස්ස අධිකරණයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ලෙස නම් කෙරුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණේ ඒ අනුවය.

ඔහු ඩුබායිහි දී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොස්ගොඩ සුජී නැමැති අපරාධකරු ද ඔහු සමග සිට ඇති බව වාර්තා වේ.

රුවන්, නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳගේ සහෝදරයා වන අතර ඔහුගේ උපදෙස් මත සිදුකළ අපරාධ රැසකම මහමොළකරු ලෙසත් කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට ගත් උත්සාහයේ සැලසුම්කරු ලෙසද මිදිගම රුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.