විකුණන මෝටර් රථය ගන්න වගේ ඇවිත් කොල්ලකයි

විකුණන මෝටර් රථය ගන්න වගේ ඇවිත් කොල්ලකයි

March 22, 2024   01:19 pm

හොරණ මෘදුකාංග ඉංජිනේරුවෙකුට අයත් මෝටර් රථයක් කොල්ලකා රැගෙන ගිය සැකකරුවෙක් දින 4කට පසු වාද්දුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සහ කොල්ලකෑ මෝටර් රථය සොයාගැනීමට හැකිවුණේ CCTV කැමරා 20කට අධික ප්‍රම‍ාණයක දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසුවය.

මෘදුකාංග ඉංජිනේරුවා තමාට අයත් රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා මෝටර් රථයක් අලෙවි කිරීම සඳහා අන්තර්ජාලයේ දැන්වීමක් පළ කර තිබූ අතර එය දුටු පුද්ගලයෙක් ඔහු අමතා රථය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා තිබුණි.

ඒ අනුව පසුගිය 17 වනදා පස්වරුවේ රථය පරීක්ෂා කිරීමට දෙපාර්ශ්වය එකඟවී ඇති අතර එම පුද්ගලයා පාගමනින් හොරණ ප්‍රදේශයට පැමි‍ණ තිබේ.

පසුව එම පුද්ගලයා මෝටර් රථය පරීක්ෂා කිරීමේ මුවාවෙන් රථය හිමි මෘදුකාංග ඉංජිනේරුවා සමගින් මෝටර් රථය හොරණ කණන්විල මාර්ගයේ ධාවනය කර තිබුණි.

එක්වරම එම මාර්ගයේ සුසාන භූමියක් ආසන්නයේ රථයේ එන්ජිමේ දෝෂයක් ඇති බවට හඟවා තිරිංග තදකර රථය නැවැත්වීමට සැකකරු  කටයුතු කර තිබේ.

එම අවස්ථාවේදී ඔහු රථයේ බොනට්ටුව විවෘත කර ඇති අතර පසුව රථයේ හිමිකරුද ඉන් බැස එන්ජිම දෙසට ගමන් කරනවාත් සමගම සැකකරු රියදුරු අසුනට ගොස් රථය පනගන්වා පළාගොස් තිබුණි. 

පසුව රථයේ හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසියට සිදුකළ පැමිණිල්ලට අනුව හොරණ කණන්විල සිට වාද්දුව දක්වා CCTV කැමරා 20කට අධික සංඛ්‍යාවක දර්ශන පරීක්ෂා කෙරුණි.

ඒ ඔස්සේ විමර්ශන සිදුකළ පොලීසියට සැකකරු දින 4කට පසු එනම් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ වාද්දුව වේරගම ප්‍රදේශයේදීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු කොල්ලකෑ මෝටර් රථය 
වාඩියමංකඩ ප්‍රදේශයේ සඟවා ඇති බවට තොරතුරු අනාවරණ වුණි.

ඒ ඔස්සේ ගිය පොලීසියට දක්නට ලැබුණේ සැකකරු ඔහුගේ ඥාතී නිවසක මෝටර් රථය සඟවා ඇති ආකාරයයි.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ මෝටර් රථ අලුත්වැඩියා කරන 32 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.