පිළිකා රෝගීන්ගේ සිත් සුවපත් කරවන නවාතැන

පිළිකා රෝගීන්ගේ සිත් සුවපත් කරවන නවාතැන

December 30, 2023   10:24 pm

පිළිකාව නිසා ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර සිටින අය ඕනෑතරම් අද සමාජයේ සිටී.

එවන් අය වෙනුවෙන් මානසික සහනයකින් යුතුව කල්ගෙවීමට වෙන් කෙරුණු අපූරු පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මඩකලපුවේ දැන් ස්ථාපිත කර තිබේ.

ඒ පිළිබඳව අද දෙරණ  තොරතුරු සොයාබලනු ලැබීය.

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ පිළිකා සත්කාර මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕනෑම පිළිකා රෝගියෙක් සඳහා විවෘතය.

මඩකළපුව ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් ඉක්බාල්ගේ සංකල්පයකට අනුව ආරම්භ කළ එම මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ ධානපතින් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යනු ලබයි.    

පිළිකාවට අවැසි ප්‍රතිකාර සඳහා නිවසේ සිට නිතරම දුරබැහැර යාමට අපහසු, ඒ් සඳහා ගමන් වියදම් දරාගත නොහැකි සහ රෝහලට නුදුරු ස්ථානයක මුදල් ගෙවා නතරවීමට හැකියාවක් නැති ඕනෑම රෝගියෙක්ට මෙහි නවතින්නට හැකියාව තිබේ.

අතමිට මුදල් තිබුණත්, රෝගය නිසා නිවසේ රැඳෙන්නට මානසිකත්වයක් නැතිනම් හෝ පවුලේ සාමාජිකයන්ට රෝගියා රැකබලාගැනීමේ ප්‍රායෝගික ගැටලු ඇත්නම් ඔවුන්ටත් එම මධ්‍යස්ථානය විවෘතය.

මෙහි නේවාසිකව සිටින රෝගීන්ට අවශ්‍ය ආහාර පාන නොඅඩුව පිරිනැමෙයි.

රෝගීන් ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලබන්නේ මේ මධ්‍යස්ථානයේම ගිලන් රථ මගිනි.

රෝගීන්ගේ මානසික තත්ත්වය යහපත්ව තබාගැනීම මෙහි මූලික අරමුණකි.

ඒ් නිසාම මේ මධ්‍යස්ථානයේ පරිසරය පවා අලංකාරව සකස් කර තිබෙන්නේ රෝගීන්ට ප්‍රියමනාප ලෙසිනි.

"තමන් පිළිකා රෝගියෙක්" යන හැඟීම මේ රෝගීන්ට නොදැනෙන තරම්ය.

ඒ් වෙනුවෙන් මෙහි කාර්යමණ්ඩලය දැඩි ලෙස කැපවෙයි.

විශේෂත්වය වෙන්නේ මේ සියල්ල සිදුකෙරෙන්නේ නොමිලේ වීමය.

මේ කිසිඳු රෝගියෙක්ගෙන් කිසිඳු මුදලක් කිසිඳු අයුරකින් හෝ අයකෙරෙන්නේ නැත.

මෙම මධ්‍යස්ථානයේ වරකට නේවාසික පහසුකම් සැලසිය හැකි රෝගීන් සංඛ්‍යාව 30කි.