ශම්මිගේ ප්‍රකාශයක් ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් හෙළිදරව්වක්

ශම්මිගේ ප්‍රකාශයක් ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් හෙළිදරව්වක්

November 12, 2023   09:57 pm

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඊයේ සිදුකළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය කරුණු අනාවරණයක් කර තිබුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැනවූ ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ලංකාවට අහිමි විය හැකි බවට ශම්මි සිල්වා මහතා පැවසුවද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන්නේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් තීරණයක් ගෙන නොමැති බවය.

තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව සාකච්ඡා කරන්නේ නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී බව එහි සඳහන්ය.

එමෙන්ම ක්‍රික්ඉන්ෆෝ සතුව ඇති තොරතුරුවලට අනුව, 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශපාලන ඇඟිලි ගැසීම් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කිරීමෙන් පසුව එහි නියෝජිත ඉම්රාන් කවාජා මහතා කරුණු සෙවීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එම අවස්ථාවේ දී සෘජු මැදිහත්වීම් පිළිබඳ මූලික සාක්ෂියක් සොයා නොගත් බවත් එම වෙබ් අඩවිය පවසයි.

එසේම ඉකුත් ජුලි මාසයේදීත් මෙරටට ක්‍රිකට් තහනමක් පැනවීමේ අවදානමක් තිබී පසුව එය වළක්වාගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඊයේ පැවසුවත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවය.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අහෝසි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි සඳහන් වන්නේ තහනම ඉවත් කරගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවය.

මෙය ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව යෝජනාවක් සම්මත කරගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් වන අතර එය කිසිසේත්ම දේශපාලන අතපෙවීමක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ශම්මි සිල්වාගේ පෞද්ගලික බූදලයක් නොවන බැවින් ක්‍රිකට් තහනම් කිරීමට ඔහුගෙන් යම් ඉල්ලීමක් සිදුව ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවූ පසු ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ එම තහනම වත්මන් ක්‍රිකට් සබාපතිවරයාගේ ඉල්ලීම මත සිදුවූවක් බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මේ චෝදනා ප්‍රතික්ෂේප කළේය.