ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇති බවට වී අලෙවි මණ්ඩලයෙන් දැනුම්දීමක්

ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇති බවට වී අලෙවි මණ්ඩලයෙන් දැනුම්දීමක්

August 19, 2023   08:18 am

වී මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.

වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ, පසුගිය මහ කන්නයේ දී වී මිල දී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 13ක් වැය කළ බවයි.

එලෙස මිල දී ගත් වී තොග සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ ලබා දීමට රජය පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයට සඳහන් කර තිබේ.

මීට අමතරව මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ගොවීන්ගේ භාරකාර අරමුදල මඟින් ලබා දීමට පියවර ගෙන ඇත. 

එම මුදල වැය කර වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කළ අතර, මේ වන විට රුපියල් මිලියන 300ක වී මිල දී ගෙන ඇති බව එම මණ්ඩලය අවධාරණය කරයි.

ඉන් තවත් රුපියල් මිලියන 200ක මුදලක් ඉතිරිව ඇතත් මේ වන විට ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකිරීම නිසා, දිස්ත්‍රික් කිහිපයක විවෘත කර තිබූ වී ගබඩා වසා දැමීමට පියවර ගත් බව වී අලෙවි මණ්ඩලය සඳහන් කර ඇත.

මීට අමතරව රජය විසින් රාජ්‍ය බැංකු මඟින් ණය මුදලක් වශයෙන් තවත් රුපියල් මිලියන 750ක් වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.

ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කිරීමට සූදානම් ඕනෑ අවස්ථාවක එම මුදල් යොදවා වී මිල දී ගැනීමට හැකි බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.