යකඩ උණුවී ගලා ආ දියර සිරුරට විසිවී අයෙක් මරුට

යකඩ උණුවී ගලා ආ දියර සිරුරට විසිවී අයෙක් මරුට

August 15, 2023   07:37 pm

කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක් තුළදී යකඩ දියර පිටතට විසිවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබුණි.

කහතුඩුව පොලීසිය සඳහන් කළේ තුවාලකරු රෝහල්ගතව දින 10 ක් ප්‍රතිකාර ලැබීමෙන් පසු මියගිය බවය. 

එලෙස මියගොස් තිබුණේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ  පදිංචිව සිටි දීපාක් කුමාර් නැමැති 22 හැවිරිදි තරුණයෙකු බවය.

එම තරුණයා මියගොස් තිබුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියගිය තරුණයා ඉකුත් 05 වනදා රාත්‍රියේ වැඩමුරය සඳහා කර්මාන්තශාලාව වෙත පැමිණ තවත් ඉන්දියානු ජාතිකයින් 06 දෙනෙකු සමග කෝව තුළට යකඩ දමමින් සිටියදී අනපේක්ෂිත අයුරින් කෝවේන් පිටතට යකඩ දියර විසිවීම මෙම අනතුර සිදුවී තිබුණි.

එහිදී මියගිය පුද්ගලයා ද ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සියලුම දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත යොමු කෙරුණි.

අනතුර සිදුවන අවස්ථාවේදී කෝවට යකඩ හතරෙන් තුනක් පමණ දමා තිබී ඇති අතර ඒ වන විට යකඩ   සෙන්ටිග්‍රේඩ් අංශක 1,400 උෂ්ණත්වයකින් දියර බවට පත්වෙමින් තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

මියගිය තරුණයා ඇතුළු පිරිස තවදුරටත් කෝව තුළට පිටත සිට යකඩ විසි කරමින් සිටියදී අධික ලෙස උණුසුම්වී තිබූ යකඩ දියර විසිවීමෙන් ඔවුන්ගේ මුහුණ සහ හිස හැරෙන්නට ශරීරයේ සෑම ස්ථානයක්ම දැඩි ලෙස පිළිස්සී ගොස් ඇති බව පොලීසිය කියයි.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මල්ලිකා සුගතදාස මහත්මියගේ අධීක්ෂණය යටතේ ඊයේ (14) සිදු කළාය.