ජනපති ඉන්දියාව ට සිය කෘතඥතාව පළ කරයි

ජනපති ඉන්දියාව ට සිය කෘතඥතාව පළ කරයි

July 21, 2023   01:33 pm

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාලපරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) නව දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ අතර එහිදී මේ බව පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට, ඉන්දීය රජයට සහ ජනතාවට එලෙස සිය කෘතඥතාව පළ කරන බවය.

ශ්‍රී ලංකාවේ සැමට ආර්ථික පුනර්ජීවනය, තිරසාර සංවර්ධනය සහ යුක්තිය සාක්ෂාත් කරගැනීම සඳහාවූ තම කැපවීම යළිත් තහවුරු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වාදී තිබේ. 

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ  ආර්ථික, යටිතල පහසුකම් සහ තාක්‍ෂණික ක්ෂේත්‍රයේ අත්කරගෙන ඇති ප්‍රගතිය ඉන්දීය නිල සංචාරයේ නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඇගයීමට ද ලක්විය.  
ඉන්දියාවේ සංවර්ධනය අසල්වැසි රටවලට සහ ඉන්දියානු සාගර කලාපයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවද ඔහු අවධාරණය කළේය.
 
මේ අතර ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ආරාධනය මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්වී තිබේ.