ඉතිහාසගත වූ විම්බල්ඩන් අවසන් තරගය

ඉතිහාසගත වූ විම්බල්ඩන් අවසන් තරගය

July 17, 2023   10:49 pm

2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව හිමිකර ගැනීමට 20 හැවිරිදි ස්පාඤ්ඤ ක්‍රීඩක Carlos Alcaraz සමත් වුණි.

ඒ, අවසන් මහා තරගයේදී වට 3ට 2ක් ලෙස සුපිරි ක්‍රීඩක සර්බියාවේ Novak Djokovic පරාජයට පත්කරමිනි.

වත්මන් ලොව අංක එකේ ක්‍රීඩක Carlos Alcaraz සහ අංක දෙක ස්ථානයේ රැඳීසිටින Novak Djokovic අතර පැවති තරගය විචාරකයන් හැඳින්වූයේ මීළඟ ටෙනිස් සුපිරි තරුව සහ ටෙනිස් පිටියේ පුරාවෘත්තය අතර පැවැත්වෙන තරගයක් ලෙසය.

තමාට වඩා වසර 16ක් වැඩිමහල් පරිණත Novak Djokovic පළමු වටයේදී කිසිදු අභියෝගයක් එල්ල කිරීමට 20 හැවිරිදි Alcaraz සමත් නොවූ අතර Novak Djokovic පළමු වටය ජයගත්තේ ලකුණු 6ට 1ක් ලෙසය.

නමුත් Carlos Alcaraz දෙවන වටයේදී කරට කර සටනක නිරතවෙමින් ලකුණු 7ට 6ක් ලෙස එය ජයගත්තේ ප්‍රේක්ෂක අවධානය තමා වෙත යොමු කරවා ගනිමිනි.

Carlos Alcaraz නැවතත් තුන්වැනි වටය ලකුණු 6ට 1ක් ලෙසත්,  Djokovic සිව් වන වටය ලකුණු 6ට 3ක් ලෙසත් ජයගැනීම නිසා සටන තියුණු අවසානයක් වෙත ළඟාවුණි.

තීරණාත්මක පස්වන සහ අවසන් වටය යොවුන් ක්‍රීඩක Alcaraz ලකුණු 6 ට 4 ක් ලෙස ජයගත්තේ ඉතිහාසයේ නව සටහනක් තබමිනි.

ඒ අනුව පැය 5කට ආසන්න කාලයක් දෙපසට දෝලනය වෙමින් තිබූ තරගයේ ජය වට 3ට 2ක් ලෙස ලබාගත් Carlos Alcaraz, 2023 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව හිමිකර ගත්තේය.

එම ජයත් සමග Carlos Alcaraz වාර්තා අතරට එක්වූයේ විම්බල්ඩන් කිරුළ දිනූ ලොව තෙවන ළාබාලතම ක්‍රීඩකයා ලෙසය.

ඒ අනුව පරාජයට පත්වූ Djokovic සිය 24වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුළ අහිමිවුණි.

ජයග්‍රාහී Carlos Alcaraz විම්බල්ඩන් කුසලානය පිරිනැමුණේ වේල්සයේ කුමරිය වන කේට් කුමරිය අතින්ය.