යාපනයේ දීත් පොලීසියෙන් අහසට වෙඩි

යාපනයේ දීත් පොලීසියෙන් අහසට වෙඩි

June 29, 2023   11:05 am

අච්චුවේලි පොලිස් වසමේ නිර්වේලි ප්‍රදේශයේ කලහාකාරීව හැසිරුණු පිරිසක් පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ඊයේ (28) රාත්‍රියේ නිවසකට පිරිසක් පහරදෙන බවට 119 අංකයට ලද පණිවුඩයක් මත අච්චුවේලි පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට යන විට එම පිරිස දිගින් දිගටම කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තත්ත්වය පාලනයට පොලීසිය අහසට වෙඩිතැබීමක් සිදුකර ඇත.

එහිදී කලහාකාරීන්ගේ පහරකෑමට ලක්වු අයෙක් පොලිස් නිලධාරීන් විසින් මුදාගෙන යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ, 21 හැවිරිදි නිර්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මුහුණුපොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීමේ සිදුවීමක් මුල්කරගෙන ආරවුල ඇතිවු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙහිදී පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අච්චුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.