තරුණියන් සුදු කළ එන්නත් හෙළිදරව්වේ ඔබ නොදුටු පැත්ත උකුස්සා පෙන්වයි

තරුණියන් සුදු කළ එන්නත් හෙළිදරව්වේ ඔබ නොදුටු පැත්ත උකුස්සා පෙන්වයි

May 26, 2023   07:37 pm

මෙරට තුළ භාවිතයට තහනම් පිළිකා රෝගීන්ගේ අතුරු ආබාධ සමනය කිරීම සඳහා ලබාදෙන''ග්ලූටාතියන්'' නමැති එන්නත සම පැහැපත් කිරීම සඳහා පුද්ගලයෙකු විසින් අලෙවි කෙරෙන ජාවාරමක සුලමුල "අද දෙරණ උකුස්සා" ඊයේ (25) රට හමුවේ අනාවරණ කළේය.

උකුස්සාගේ අද (26) අනාවරණය එම ජාවාරම්කරු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳය.

ජාවාරම්කරු සමගින් අප කතා කරගත් පරිදි අහාර හා ඖෂධ පාලකවරුන් හා පොලීසිය සමග අප කොට්ටාව ප්‍රදේශයට ළඟාවන්නේ උපාය දූතියකද සමගිනි.

පසුව ජාවාරම්කරුගේ විශ්වාසය දිනාගැනීම සඳහා අපගේ උපායදූතිය විසින් ඔහුට දුරකතන ඇමතුමක්ද ලබාදුන්නේය.

ජාවාරම්කරු පැවසූ අන්දමට අප ඔහු සිටි ස්ථානයට ඇතුළුවීමෙන් පසුව ඔහු විසින් එන්නත්කරනය සිදුකරන අයුරු පිළිබඳව අපව දැනුවත් කළේය.

ඔහු විසින් සිදුකරන මෙම කූට ක්‍රියාව පිළිබඳව තහවුරු කරගැනීමෙන් පසුව අප ඒ පිළිබඳව සූක්ෂ්ම ලෙස ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වෙත දැනුම්දුන්නේය.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුයේ ඔහුට එන්නත්කරණය සම්බන්ධයෙන් අබමල් රේණුවක තරම්වත් දැනුවත්කමක් නොමැති බවය. 

සැකකරු පදිංචි ස්ථානය පරීක්ෂා කිරීමේදී ඔහු වෙනත් පුද්ගලයන් වෙත ලබාදුන් එන්නත් තොගයක්ද සොයා ගැනීමට හැකි විය. 

වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී ඔහු සඟවා තිබූ ''ග්ලූටාතියන්'' එන්නත් තොගයක් ද හමු විය. 

මේ අතර වෛද්‍යවරුන් පවසන්නේ,  ''ග්ලූටාතියන්'' එන්නත භාවිතයෙන් අතුරු ආබාධ රැසක් ඇතිවිය හැකි බවය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණය කිරීමට ''අද දෙරණ උකුස්සා'' සීරුවෙනි.