පාසල් සිසුවියගේ මරණයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පාසල් සිසුවියගේ මරණයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

May 8, 2023   10:36 am

අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියදුරු ව බවය.

මීට පෙර එම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ඇය සමග හෝටලය වෙත පැමිණි යුවළද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් තිදෙනාම ඊයේ (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එම පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට පෙරේදා (06) පස්වරු 6.30ට පමණ පැමිණ ඇති බවය.

පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබේ.

එලෙස කාමර දෙකක් වෙන්කරගෙන ඒ වෙත ගමන් කළද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇත්තේ ඒ අතරතුරය.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් තිබුණි.

ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබේ.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබේ.

ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකි.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවය.

එසේම පොලීසිය තවත් කරුණු කිහිපයක් මේ වන විට අනාවරණ කරගෙන තිබේ.

එක්වරම කලබලයෙන් හෝටල් කාමරයෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවය.

මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වේ.

පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටි සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබුණි.

අවසාන මොහොත දක්වා මියගිය තරුණිය සමඟ රැඳී සිට පළාගොස් ඇති සැකකරු සොයා කළුතර දකුණ පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.