වෙඩිවැදී කාන්තාවක් මියයෑමේ සිද්ධියට හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

වෙඩිවැදී කාන්තාවක් මියයෑමේ සිද්ධියට හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

February 14, 2023   06:57 am

බොරැල්ල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධහමුදා සෙබළුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) රාත්‍රී කාලයේදී බොරැල්ල පොලිස් වසමේ බේස්ලයින් මාවත හල්ගහකුඹුර ප්‍රදේශයේදී වෙඩිවැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.

පොලීසිය පවසන්නේ යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු තම භාරයට ගැනීමට යාමේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම කාන්තාවට වෙඩි වැදී ඇති බවය.

අනතුරුව එහි සිටි පිරිස් විසින් වෙඩි වැදුණු කාන්තාව රෝහල්ගත කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

කාන්තාවගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.